ඕස්ට්‍රේලියාවේ රැකියා වීසා වෙනස් වෙයි

    March, 19, 2018

    ඕස්ට්‍රේලියාවේ සේවා යෝජකයින්ට ඉහළ නිපුණතා වලින් සපිරි විදෙස් ශ්‍රමිකයින් ඕස්ට්‍රේලියාවේ සේවයට ගෙන්වා ගැනීම සඳහා නව වීසා වැඩසටහනක් ඕස්ට්‍රේලියානු රජය විසින් හඳුන්වා දී තිබෙන බව SBS පුවත් සේවය කියා සිටී.

    මෙතෙක් කලක් විදේශ ශ්‍රමිකයින් ඕස්ට්‍රේලියාවේ සේවා ආයතන සඳහා ගෙන්වා ගැනීමට සකසා තිබු 457 වීසා ක්‍රමය ඊයේ (18/03) දිනයේ සිට අවසන් වූ බැවින් මෙම නව වීසා වැඩසටහන රජය විසින් ආරම්භ කර ඇත.

    මේ අනුව තාක්ෂණික, විද්‍යා සහ ඉංජිනේරු යන අංශ සඳහා වූ Global Talent Scheme වැඩසටහන යටතේ මෙම වීසා නිකුත් කෙරෙන අතර  එහිදී අදාළ සේවකයා හට වසරකට ඔස්ට්‍රේලියානු ඩොලර් 180,000 ක වැටුපක් ගෙවීමට කැමති සේවා ආයතන සඳහා මෙම පහසුකම සැලසෙනු ඇත.

    එමෙන්ම ජෛව වෛද්‍ය විද්‍යාව, කෘෂිකාර්මික විද්‍යාව වැනි විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු හා ගණිතය අංශවල අලුතින් ආරම්භ කළ සමාගම් සඳහා ද සේවකයින් බඳවා ගැනීමේදී විදෙස් ශ්‍රමිකයින් සඳහා අනුග්‍රහය සැපයීමට අදාළ වීසා වැඩසටහනක්ද හඳුන්වා දී තිබේ.

    මෙම වීසා ඛාණ්ඩ ද්විත්වය සඳහා ම අයදුම් කරන අයදුම්කරුවන් හට අදාළ ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර 3 ක හෝ පළපුරුද්දක් තිබීම සහ අනුග්‍රහය සපයන සමාගම පළමුව ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රමිකයින් ව බඳවා ගැනීමට උත්සාහ දරා ඇති බව පෙන්වීම වැනි අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුව තිබේ.