ඖෂධ වෙළඳ නාමය වෙනුවට ඖෂධ නාමයෙන් හඳුන්වන ක්‍රමයක්

    March, 22, 2018

    සියලු පෞද්ගලික රෝහල්වල මිල පාලනයක් ඇති කිරීමට කටයුතු කරන බවත් ඉදිරියේ දී රෝගීන්ට ලබාදෙන ඖෂධ වෙළඳ නාමය වෙනුවට ඖෂධ නාමයෙන් සඳහන් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසී ය.

    අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග පිළිබඳව විවාදයේ අදහස් දක්වමිනි.

    “මේ රටේ ඖෂධවල මිල ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අපි අද කතා කරනවා. මේ රටේ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත අපි ගෙනාවා. වසර 45 ට පසුව මහාචාර්ය සේනක බිබිලේ ප්‍රතිපත්තිය ගේන්න හැකියාව ලැබුණා. මුළු පාර්ලිමේන්තුවම එය අනුමත කළා. මේ රටේ අත්‍යවශ්‍ය ඖෂධ 48ක් ගණනය කොට මිල ගණන් නියාමනය කළා. මේක යාවත්කාලීන කරන්න අද මේ පනත ඉදිරිපත් කරනවා. ඖෂධ සමාගම්වලින් විවිධ ඉල්ලීම් ආවා. වාර්ෂිකව සියයට 5ක වැඩිවීමකට අපි එකඟ වුණා. ප්‍රධාන රෝගවලට බලපාන ඖෂධ මේ තුළ අන්තර්ගත වෙනවා. මේ මිල සූත්‍රය ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ක්‍රියාත්මක කරනවා. මේ සම්බන්ධයෙන් 2016 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අග්නිදිග ආසියානු කලාප වාර්තාවේ පැහැදිලි ලෙස වාර්තාකර තිබෙනවා. ශ්‍රී ලංකා රජය සටහනක් නිකුත්කර තිබෙනවා සිල්ලර මිල වැදගත් ඖෂධ 48 මිල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී තිබෙනවා කියා. ඒ වාර්තාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම මිලකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගැසට් පත්‍රයක් නිකුත් කිරීම පිළිබඳව සහාය දෙනවා යනුවෙන් පවසා තිබෙනවා. අක්ෂි කාච සඳහා මිල විශාල වශයෙන් පහත හෙළා තිබෙනවා.“

    “ඖෂධවල ගුණාත්මකභාවය තවම වෙළඳ නාමයෙන් කරන්නේ. ඇතැම් වෛද්‍යවරු සියලු නීතිවලට හොරෙන් වෙළඳ නාම ලියනවා. එදා තිබුණේ ඒකයි. තව වසරකින් පමණ ඖෂධවල වෙළඳනාමය වෙනුවට ඖෂධය, ඖෂධ නමින් ම හඳුන්වන ක්‍රමයක් ගේනවා. ඇමරිකාවෙත් බෙහෙත් ලියන්නේ ඖෂධ නාමයෙන්. අපට  ඒකට තත්ත්ව රසායනාගාරයක් ඕන. ඒකට තැනක් නෑ. චීනය සමඟ කතා කරලා ඖෂධ තත්ත්ව රසායනාගාරයක් ගත්තා.“

    “සියලු පුද්ගලික රෝහල්වල මිල පාලනය කරනවා. අපි විද්‍යාත්මකව මිල පාලනය කළේ. වෛද්‍යවරුන්ට ඉල්ලීමක් කරන්න. කාටවත් ලෙඩ හැදෙන්නේ නැතුව ඉන්නේ නෑ. අද ලෝක සෞඛ්‍ය සංවිධානය විශාල ප්‍රශංසාවක් කරනවා. ලෝක බැංකුව මුදල් ලබාදී තිබෙනවා. මිලියන 10,000ක් ජපානයේ දීලා තිබෙනවා,ඉදිරි වසර පහ තුළ සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන්. ජනතාවට හොඳ සෞඛ්‍ය සේවයක් සකසා ගැනීමට සැවොම එක්වී කටයුතු කරමු“ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.