කටාර් සබඳතා ඇණහිටියි. ලෝක තෙල් මිල ඉහළට

    June, 5, 2017

    සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග රටවල් 4 ක් කටාර් රාජ්‍ය සමග පවත්වන ලද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වහාම බලපවත්වන පරිදි නවතා දැමීමත් සමඟම මේ වන විට ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටී.

    මෙම පසුබිම තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල ඉහළ යාමක් වාර්තා වී ඇති අතර ආසියානු කොටස් වෙළෙඳපොළ කිහිපයක්ම දිනය තුළ පහළ ගොස් තිබේ.

    අද දිනය තුළ දී Brent බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 50.21 දක්වා සහ WTI බොරතෙල් බැරලයක් ඩොලර් 47.90 දක්වා සියයට 0.5 බැගින් ඉහළ ගියේය.

    ලෝකයේ 17 වැනියට විශාලතම බොරතෙල් නිෂ්පාදකයා සහ OPEC හි 9 වැනියට විශාලතම බොරතෙල් සැපයුම්කරුවා වන, කටාර් දේශයේ සැපයුම් අඩපණ වීම ලෝක තෙල් මිල ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා තිබෙන බව විශ්ලේෂකයින්ගේ අදහසයි.

    මේ අතර ආසියානු කොටස් වෙළෙඳපොළ කිහිපයක්ම අද දිනය තුළ පහළ ගිය අතර දකුණු කොරියාවේ Kospi සියයට 0.1 කින්, හොංකොං හි Hang Seng දර්ශකය සියයට 0.2 කින්, චීනයේ Shanghai සියයට 0.5 කින්, ඕස්ට්‍රේලියාවේ S&P/ASX 200 සියයට 0.6 කින් පහළ ගොස් තිබිණි.

    අද දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ද සියයට 0.19 කින් පහළ ගොස් තිබිණි.

    ත්‍රස්තවාදී හා අන්තවාදී කණ්ඩායම්වලට කටාර් රාජ්‍යයේ අනුග්‍රහය හිමිවන බවට වූ චෝදනාව මත සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර් රාජ්‍ය සමග පවත්වන ලද තානාපති සබඳතා මේ වන විට නවතා දමා තිබේ.