කබාලි පළමු දින ආදායම කෝටි 48 යි

    July, 25, 2016

    ඉන්දීය සිනමා ඉතිහාසයේ නව මංසළකුණක් තබමින් ආරම්භක දිනය තුළ වැඩිම ආදායමක් උපයන ලද චිත්‍රපටය බවට පත්වීමට කබාලි චිත්‍රපටය පසුගිය දා සමත්විය. පසුගිය ජූලි 22 වන සිකුරාදා දින ලොව පුරා තිරගත වීම ඇරඹි මෙම චිත්‍රපටය ආරම්භක දිනය තුළ දී උපයා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝ‍ටි 48 ක් ලෙසින් වාර්තා වී තිබේ. මෙහිදී දෙවැනියට ආරම්භක දිනය තුළ දී වැඩිම ආදායමක් ලද ඉන්දියානු චිත්‍රපටය ලෙසින් වාර්තා වන්නේ මෑතක දී නිකුත් වුණු සලමන් ඛාන් ගේ සුල්තාන් චිත්‍රපටයයි. එය ආරම්භක දිනය තුළ දී ඉන්දියානු රුපියල් කෝටි 36.5 ක ආදායමක් වාර්තා කර ඇත.

    ඉන්දියාව පුරා සිනමා ශාලා 12,000 කට අධික ප්‍රමාණයක කබාලි චිත්‍රපටය තිරගත වීම ආරම්භ කෙරුණු අතර තමිල්නාඩු ප්‍රාන්තයේ පමණක් පළමු දින ප්‍රදර්ශන ආදායම ඉන්දීය රුපියල් කෝට් 21.5 ක් ලෙසින් වාර්තා වේ. එය මෙතෙක් තමිල්නාඩුව තුළ ප්‍රදර්ශනය වූ චිත්‍රපටයක් පළමු දින උපයා තිබූ ආදායම වූ “Vedalam” චිත්‍රපටයේ ඉන්දීය රුපියල් කෝටි 15 වාර්තාවද ඉක්මවා යාමකි.

    මේ අතර ඇමරිකා-කැනඩා පළමු දින ප්‍රදර්ශනය තුළින් ඇමරිකානු ඩොලර් 1,925,379 ක් හෙවත් ඉන්දීය රුපියල් කෝටි 12.95 ක් ඉපයීමට ද කබාලි සමත්ව තිබේ. මීට අමතරව චිත්‍රපටයේ චන්ද්‍රිකා විකාශන අයිතිය අලෙවිය තුළින් තවත් ඉන්දීය රුපියල් කෝටි 200 ක්ද කබාලි මේ වන උපයා ඇත.