කල්පිටියේ ඉඩම් 5 ක් සංචාරක සංවර්ධන අධිකාරියට පවරයි

    May, 18, 2017

    කල්පිටිය ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය හා බැඳුණු ක්‍රියාකාරකම් හා පහසුකම් සංවර්ධනය කිරීම සඳහා කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි හෙක්ටයාර 56.35ක භූමි ප්‍රමාණයකින් යුත් ඉඩම් කැබලි 05ක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙත පවරා දීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

    සුවිශේෂ පාරිසරික පද්ධතියකට හා සමුද්‍රීය සම්පත් රැසකින් සමන්විත අලංකාර මුහුදු තීරයකට උරුමකම් කියන කල්පිටිය ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයන් රැසකගේ ආකර්ෂණයට බඳුන්ව ඇති අතර, සංචාරක සංවර්ධනය සඳහා එම ප්‍රදේශයේ ඉහළ විභවතාවක් පවතින බවත් එසේ වුවද එම ප්‍රදේශයේ දැනට පවතින හෝටල් හා අනෙකුත් සංචාරක පහසුකම් ඉහළ මට්ටමේ සංචාරකයින්ගේ අවශ්‍යතා ඉටු කිරීම පිණිස ප්‍රමාණවත් නොවන බවත් රජයේ අදහස වී තිබේ.

    එහිදී ප්‍රාදේශීය වශයෙන් සංචාරක ගමනාන්තයන් සංවර්ධනය කරමින් ඒ හා බැඳුණු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වැදගත් බව අමාත්‍ය මණ්ඩලය සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන් වේ.

    2020 වර්ෂය වන විට මිලියන 4.5ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාව වෙත පැමිණීමේ ඉලක්කය සාක්ෂාත් කරගැනීම රජයේ අපේක්ෂාවයි.