කලින් තිබුණු තැනට කොටස් වෙළෙඳපොළ යළි පැමිණෙන්න බොහෝ දෑ කළ යුතුයි – අගමැති රනිල්

    March, 21, 2019

    පෙර පැවති මට්ටම්වලට කොටස් වෙළෙඳපොළ යළි පැමිණීමට නම් සිදු කළ යුතු බොහෝ දේ ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    “අපි කොටස් වෙළෙඳපොළ ගැන අපි අවධානයෙන් ඉන්නවා. සේවක අර්ථසාධක අරමුදල (EPF) යළිත් වරක් කොටස් වෙළෙඳපොළට ප්‍රවේශ වී සිටිනවා.
    එය විශ්වාසය ඉහළ දමන්න සහාය වෙනවා. පෙර පැවති මට්ටම්වලට කොටස් වෙළෙඳපොළ පැමිණීමට නම් තව බොහෝ දේ සිදුකරන්න තිබෙනවා.

    “අපි හොඳටම දන්නවා. බොහෝ පිරිසක් ජීවනෝපායක් ලෙසින් හෝ අතිරේක ආදායම් මාර්ගයක් ලෙසින් හෝ කොටස් වෙළෙඳපොළ මත යැපෙනවා.“

    කොටස් වෙළෙඳපොළ මේ වෙනකොට කිසිවකුගේ හෝ අවධානයක් නොමැති ස්ථානයක් (Ghost Town) බවට පත්ව ඇති බවත් එහි නිරත හයදහසක් හත්දහසක් පමණ වන පුද්ගලයින් වෙනුවෙන් කොටස් වෙළෙඳපොළ යථාතත්ත්වයට පත්කරලන්නට රජයට සහාය විය හැකිදැයි යනුවෙන් පසුගිය දා පැවති Fireside Chat ව්‍යාපාරික සංවාදාත්මක සන්ධ්‍යාවේ දී, සභාව මෙහෙයවන ලද දිනේශ් වීරක්කොඩි මහතා කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.