කහටගහ මිනිරන් සඳහා අගය එකතු කරන්න ලංසු කැඳවයි

    February, 7, 2020

    කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනය පූර්ණ වශයෙන් රජය සතු සමාගමක් වන අතර එමඟින් මිනිරන් කැණීම් කටයුතු සිදු කරන කහටගහ පතලෙහි මසකට මෙට්‍රික් ටොන් 65 - 70 අතර ප්‍රමාණයක් මිනිරන් කැණීම් සිදු කර ඒවා අමුද්‍රව්‍ය ස්වරූපයෙන්ම අපනයනය කිරීම සිදු කරනු ලබයි.

    ශ්‍රී ලංකාවේ මිනිරන් සැපයුම ලෝක වෙළඳපොළේ මිනිරන් අවශ්‍යතාවයෙන් 7%ක් පමණ වේ. එම තත්ත්වය මත ජාත්‍යන්තර වෙළඳපොළෙහි බලපෑමක් ඇති කිරීමට හැකියාවක් නොමැති බැවින් කහටගහ පතල තුළින් කැණීම් කර ලබාගන්නා මිනිරන් සඳහා අගය එකතු කිරීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක් බව හඳුනාගෙන ඇත.

    ඒ අනුව, කැණීම් කර සපයනු ලබන මිනිරන් සඳහා අගය එකතු කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීම වෙනුවෙන් පමණක් තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමය යටතේ දේශීය හා විදේශීය ආයෝජකයින් වෙතින් අභිලාෂය පළ කිරීම සඳහා ආරාධනා කැඳවීමටත්, ව්‍යාපෘති කමිටුවක් සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් මඟින් ඉදිරිපත් වන යෝජනා ඇගයීමට ලක් කර සුදුසු ආයෝජකයෙකු තෝරා ගෙන යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.