කහ වගාවෙන් ස්වයංපෝෂිත වෙන හැටි රාජ්‍ය අමාත්‍ය වක්කුඹුර කියයි

    September, 21, 2020

    ස්වයංපෝෂිත වීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට මෙරට කහ වගා කිරීමට බලාපොරොත්තු වන බවත්, ඊළඟ කන්නය වන විට එම ඉලක්කය සපුරා ගැනීමට හැකිවනු ඇති බවත් උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    “ඊළඟ කන්නය වෙන කොට අපි බලාපොරොත්තු වෙනවා, ස්වයංපෝෂිත වෙන්න ඕන ප්‍රමාණයට මේ රටේ කහ වගා කරන්න.“

    “දැන් මේ වෙන කොටත් බීජ හදන්න හමුදාවට වෙනම දීලා, වැඩපිළිවෙලක් හදලා තියෙනවා. මම ලබන දෙවෙනිදා ගාල්ලේ ගිහිල්ලා හමුදා කඳවුරක පැළ ලක්ෂයක් අපි ලබලා දෙනවා.“

    මේ අතර පිටකොටුව තොග වෙළෙඳුන්ගෙන් කළ විමසීමක දී ඔවුන් කියා සිටියේ වෙළෙඳපොළේ කහ සොයා ගැනීමටවත් නොමැති බවයි.

    මෙහිදී අද දෙරණ වෙත අදහස් දැක්වූ එක් තොග වෙළෙන්ඳෙක් මෙසේ පැවසීය.

    “දැනට කහ කොළඹ බසාර් එකේ නැති නිසා ගාණත් වැඩිවෙලා තියෙන්නේ. ලංකාවේ නිස්පාදනය කරනවා නං, කාලසීමාවක් දීලා ඉම්පොර්ට් කරන්න දෙන එක පොඩ්ඩක් කල් දෙන්න තිබුණා. එක පාරටම කහ ගෙන්නන එක නවත්තපු නිසා කහ ග්‍රෑම් සීයක්වත් අපිට ගන්න බැරි තත්ත්වයක්වත්, විකුණන් බැරි තත්ත්වයක්වත් ඇති වෙලා තියෙන්නේ. රටේ ආර්ථික තත්ත්වයට දේශීය නිෂ්පාදන අපි පිළිගන්න ඕනේ. නමුත් කාලසීමාවක් දීලා, ඒකට විසඳුමක් අරන් තිබුණා නං ඒක සතුටුදායක දෙයක්.“