ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් මිලියන 1.5 ක් ගෙවන්නෙ කොහොමද ?

    April, 4, 2014

    බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි-විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයන් වුවහොත් ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක මුදලක් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව අද උදෑසන හදිසියේ රැස්වී තීරණය කර තිබේ.

    මෙම මුදලට ඇතුළත් වන්නේ ඇමරිකානු ඩොලර් 500,000 ක සහභාගීවීමේ ගාස්තුවක් සහ තරගය දිනීම වෙනුවෙන් ලබාදෙන ඩොලර් මිලියනයක බෝනස් මුදලකි.

    අනාවරණය වන ආකාරයට මෙම මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගෙවීමට යන්නේ විස්සයි-විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබීමට නියමිත මුදල්ද යොදා ගනිමිනි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියෙකුගෙන් අපි මේ පිළිබඳව විමසූ අවස්ථාවේදී ඔහු පැවසුවේ මෙම මුදල් ක්‍රීඩකයින්ට ගෙවන ආකාරය සොයා බැලීම එතරම් වැදගත් දෙයක් නොවන බවයි.

    කෙසේවෙතත්, එම මුදල් විස්සයි විස්ස ලෝක කුසලාන අවසාන මහා තරගය ජයග්‍රහණය කිරීමෙන් ලැබෙන මුදල් වලින් කොටසක් සහ ආයතනයේ තැන්පතු මුදල් වලින් කොටසක් යොදා ගෙවනු ඇතැයි තමා විශ්වාස කරන බව හෙතෙම පැවසීය.

    මෙම මුදල ශ්‍රී ලංකා රුපියල් වලින් රුපියල් මිලියන 193.5 ක් පමණ මුදලකි.