ක්‍රිකට් නිල ඇඳුමේ නඩුව සමථයකට. Khazana Sports, MAS Active සමාගමෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

    January, 13, 2020

    ශ්‍රී ලංකා නිල අනුරුව සහිත ඇඳුම් සම්බන්ධයෙන් මාස් ඇක්ටිව් (MAS Active) ආයතනයේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනයවීම පිළිබඳව ඛාසානා ස්පෝට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් මාස් ඇක්ටිව් ප්‍රයිවට් ලිමිටඩ් (MAS Active (pvt) LTD) වෙත ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීම ඉදිරිපත් කර තිබේ.

    මේ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමක් පළකරමින් ඛාසානා ස්පෝට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටින අතර අදාළ දැන්වීමේ අන්තර්ගතය පහත පරිදි වේ.

    “මාස් ඇක්ටිව් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් අනුග්‍රාහකයා වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුරුව සහිත ඇඳුම් නිෂ්පාදනය කිරීම, විකිණීම සහ බෙදාහැරීම සඳහා ඉහත කී ආයතනය විසින් පරිම අයිතිය දරනු ලබන බවත් ඛාසානා ස්පෝට්ස් ආයතනය වන අපි විසින් පිළිගෙන සිටිනු ලැබේ. එකී නිල අනුරුව සහිත ඇඳුම්වල දී භාවිත කරනු ලබන සියලුම සැලසුම්, මෝස්තර, කලා උපාංග, ආකෘතික ස්වරූපය, ෆැබ්රික් ව්‍යූහය, යෝග්‍යතාවය සහ තත්ත්වය පිළිබඳ බුද්ධිමය දේපළ අයිතිකරු මාස් ඇක්ටිව් ආයතනය වන බව ද අප විසින් තවදුරටත් පිළිගෙන සිටිනු ලැබේ.“

    “මාස් ඇක්ටිව් ආයතනයේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින්, එකී නිල අනුරුව සහිත ඇඳුම්වල අනුකරණ නිර්මාණ පූර්වයෙන් අලෙවි කිරීම ඛාසානා ස්පෝට්ස් ආයතනය විසින් පිළිගෙන සිටිනු ලැබේ.“

    “ඉහත කී ආයතනයේ අයිතිවාසිකම් අප විසින් උල්ලංඝනය කිරීම පිළිබඳව අනාවරණයකර ගැනීමෙන් පසුව, මාස් ඇක්ටිව් ආයතනය විසින් වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනුකරනු ලැබූ අතර එකී අනුකරණ අයිතම විකිණීම වළක්වාලනු ලබන අතුරු සහනයක් අධිකරණයෙන් ලබා ගන්නා ලදී. මාස් ඇක්ටිව් ආයතනය සඳහා වන්දි මුදල් ගෙවීම මගින් සහ අප විසින් මාස් ඇක්ටිව් ආයතනය වෙත ප්‍රසිද්ධ සමාව ඉල්ලා සිටීමක් ඉදිරිපත් කිරීමට එකඟවීම මගින් සහ අනාගතයේ දී එකී අයිතිවාසිකම් නැවත උල්ලංඝනය කරනු නොලබන බවට අධිකරණය ඉදිරියේ අප විසින් පොරොන්දුවක් ලබාදීම මගින් එම නඩුව පසුව සමථයකට පත්කර ගන්නා ලදී.“

    මාස් ඇක්ටිව් ආයතනයේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් එකී ශ්‍රී ලංකා ක්‍රිකට් අනුරුව සහිත නිල ඇඳුම් අනුකරණ විකිණීමෙන් අපගේ ආයතනය විසින් සිදුකරනු ලබන ක්‍රියා සම්බන්ධයෙන් ඛාසානා ස්පෝට්ස් ආයතනය වන අප විසින් එමනිසා මෙයින් මෙම ප්‍රසිද්ධ සමාව අයැද සිටීම ඉදිරිපත්කර සිටිනු ලැබේ. මාස් ඇක්ටිව් ආයතනය වෙත, මාස් සමූහ ව්‍යාපාරය තුළට ගැනෙන සමාගම් වෙත සහ ඔවුන්ගේ කීර්තිනාමය සඳහා සිදුවූ පාඩුව, අලාභය හෝ අසීරුතාවය පිළිබඳව අප විසින් කණගාටුවන අතර එවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අප විසින් මාස් ඇක්ටිව් ආයතනය වෙත අපගේ නිශ්චිත සහ අපරිමිත සමාව අයැද සිටිනු ලැබේ.“

    ඛාසානා ස්පෝට්ස් (ප්‍රයිවට්) ලිමිටට් හි කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින් මෙය නිකුත් කර ඇත.

    ඡායාරූපය - මාස් හෝල්ඩිංග්ස් නිල ෆේස් බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී.