ක්‍රිස්බ්‍රෝ හරිත පිළිවෙත ඉදිරියට ගෙන යමින් සිය ගොවිපළ කටයුතු සඳහා සූර්ය බලශක්තිය යොදා ගනී

    February, 12, 2020

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම සිය හරිත පිළිවෙත් පවත්වාගෙන යෑම කෙරෙහි වන සිය කැපවීම යලිත් තහවුරු කරමින් සමාගමේ සංවෘත්ත ගොවිපල පද්ධතියේ ක‍්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය විදුලි බලය සූර්ය බලශක්තියෙන් ලබා ගැනීමට මේ වන විට සමත් වී ඇත. ගොවිපලේ සමස්ත ක‍්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය බලශක්ති ධාරිතාවෙන් කිලෝවොට් 400ක් පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයකින් ලබා ගැනීමට මේ අනුව ක‍්‍රිස්බ්‍රෝ සමාගමට හැකි ව තිබේ.

    ශ‍්‍රී ලංකාවේ විශාලතම කුකුළු ආහාර නිෂ්පාදනාගාරය සහ මෙරට පිහිටි තාක්ෂණය අතින් පෙරමුණ ගන්නා කුකුළු මස් නිෂ්පාදන සමාගම වන ක‍්‍රිස්බ්‍රෝ සිය නිෂ්පාදන ක‍්‍රියාවලියේ ආරම්භයේ සිට අවසාන නිෂ්පාදනය දක්වා පරිසර හිතකාමීත්වය සහ පුනර්ජනනීය බලශක්ති භාවිතය පිළිබඳව පුරෝගාමී ස්ථානයක පසුවෙයි. බ්‍රෝයිලර් කුකුළු පැටවුන් ඇති දැඩි කෙරෙන මෙම සංවෘත්ත ගොවිපළ පද්ධතිය අති නවීන තාක්ෂණික හැකියාවන්ගෙන් යුක්ත අතර එක් සංවෘත්ත ගොවිපළ පද්ධතියක කුකුළු පැටවුන් පනස්දාහකට අධිකව ඇති දැඩි කළ හැකි අතර සූර්ය බලශක්තිය හඳුන්වාදුන් ගල්ගමුව ගොවිපල තුළ කුකුළු පැටවුන් ලක්ෂ 3කට අධික සතුන් සංඛ්‍යාවකට නිවහන සපයයි.

    මෙම සංවෘත්ත ගොවිපළ තුළ වාතය, උෂ්ණත්වය සහ ආලෝකය පරිගණක ගත පද්ධතියක් මගින් පාලනය කෙරෙන අතර කුකුළු පැටවුන් සඳහා ආහාර සහ ජලය සැපයීමද යාන්ත‍්‍රිකව සිදු කෙරේ. මෙරට කුකුළු කර්මාන්තය සඳහා සංවෘත්ත ගොවිපළ ක‍්‍රමය හඳුන්වාදීමට ක‍්‍රිස්බ්‍රෝ පුරෝගාමී වූ අතර දැනට මෙම ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාත්මක වන වඩාත් නවීනතම සංවෘත්ත ගොවිපළ ද ක‍්‍රිස්බ්‍රෝ සතුවේ. මෙහිදී කුකුළු පැටවුන්ගේ වර්ධනය, රෝග පාලනය පිළිබඳව දැඩි සුපරීක්ෂණයකින් කටයුතු කරන අතර මෙලෙස සංවෘත්ත ගොවිපළ සංකල්පයක් හඳුන්වාදීමට ක‍්‍රිස්බ්‍රෝ පියවර ගනු ලබන්නේ බාහිර පරිසරයෙන් පැමිණෙන ප‍්‍රතිරෝධයන්ගෙන් කුකුළු පැටවුන් ආරක්ෂා කර ගැනීම සඳහාය.

    සමස්ත ගොවිපලේ බලශක්ති අවශ්‍යතාව සපුරාගැනීමේ ප‍්‍රශස්ත මාර්ගයක් ලෙස සූර්ය බලශක්තිය හැඳින්විය හැකි අතර ගොවිපලේ කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන සමස්ත විදුලි ධාරිතාවයෙන් කිලෝවොට් 400ක් නිපදවීම සඳහා සූර්ය පැනල 1200ක් පමණ ක‍්‍රිස්බ්‍රෝ ගොවිපල පරිශ‍්‍රයේ ස්ථානගත කර ඇත. ක‍්‍රිස්බ්‍රෝ සමූහයට අයත් ව්‍යාපාරික මධ්‍යස්ථානයන් 18 පරිසර හිතකාමි පිලිවෙත් සමග අනුගත වෙමින් ක‍්‍රියාත්මක වන අතර ප‍්‍රමිති සහතිකය හිමි මෙරට එකම කුකුළු මස් නිෂ්පාදකයා වන්නේත් ක‍්‍රිස්බ්‍රෝ පමණි.

    මේ පිළිබඳව අදහස් දක්වන ක‍්‍රිස්බ්‍රෝ ජ්‍යෙෂ්ඨ අළෙවි කළමනාකාර අමෝරේස් සෙලාර් මහතා ‘‘ ISO සහතිකය සහිත මෙරට එකම කුකුළු මස් නිෂ්පාදනයා ලෙස කි‍්‍රස්බ්‍රෝ සමූහය වෙත පැවරී ඇති සමාජ වගකීම අපි හොඳින් අවබෝධ කරගෙන සිටින නිසා පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් වෙත ගමන් කිරීමේ ක‍්‍රිස්බ්‍රෝ පිළිවෙත මෙම ව්‍යාපෘතිය සමග සවිබල ගැන්වෙන බව මගේ විශ්වාසයයි. එමෙන්ම ක‍්‍රිස්බ්‍රෝ හි සමස්ත ක‍්‍රියාවලිය සඳහාම උපරිම ලෙස තාක්ෂණය භාවිතා කිරීම තුළ ඵලදායීතාව, තත්ව පාලනය , බලශක්ති උපයෝජන කාර්යක්ෂමතාව ආදී අංශ කිහිපයකින් මෙරට සිටින විශිෂ්ටතම කුකුළු මස් නිෂ්පාදන සමාගම බවට නිසැකවම පත්වීමට අප සමත් වී සිටිනවා’’ යනුවෙන් පැවසීය.

    වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක‍්‍රිස්බ්‍රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එක කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට අතිනවීන යන්ත‍්‍ර සුත‍්‍ර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම පරිඝනකගතව (vertically-integrated) තම නිෂ්පාදන ක‍්‍රියාවලිය සිදුකරනු ලබයි. එසේම කුකුළු පරම්පරාවන් අශ‍්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම් මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට (FARM TO FORK) යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප‍්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක.ක‍්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ටම ප‍්‍රතිලාභ රැසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට, දේශීය බඩ ඉරිඟු ගොවීන්ට, සෘජුව සහ වක‍්‍රාකාරව රැකියා සපයමින් ශ‍්‍රී ලාංකික රැකියා ක්ෂේත‍්‍රයට, අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප‍්‍රතිලාභ උදා කර දී ඇත.