කැනඩාවේ ලෝක විශ්ව විද්‍යාල සේවයේ ස්වේච්ඡා සහයෝගිතා වැඩසටහන ක්‍රියාත්මක් කිරීමට අවබෝධතා ගිවිසුමක්

    August, 17, 2022

    කැනඩාවේ ලෝක විශ්ව විද්‍යාල සේවය (WUSC) යනු කැනේඩියානු ලාභ නොලබන සංවිධානයක් වන අතර, එය ලොව පුරා සිටින අඩු වරප්‍රසාද ලත් තරුණයින් සහ කාන්තාවන් සඳහා අධ්‍යාපනය, රැකියා සහ සවිබල ගැනිවීම සඳහා වන අවස්ථා නිර්මාණය කිරීමට ක්‍රියා කරයි.

    කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර සංවර්ධන සහයෝගීතාව පිළිබඳ පොදු එකඟතා ගිවිසුමකට 1992 ඔක්තෝම්බර් 28 වැනි දින එළඹී ඇත. ඒ අනුව, WUSC වසර 30 කට ආසන්න කාලයක් TVET සහ නිපුනතා සංවර්ධන ක්ෂේත්‍රවල, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තරුණ, කාන්තා සහ අනෙකුත් විශේෂිත ඉලක්ක කණ්ඩායම් සඳහා සේවය සපයනු ලබයි. 2016 මාර්තු 03 වන දින දෙපාර්ශවය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම යටතේ ශ්‍රී ලංකා රජය සහ කැනඩා රජය අතර ඇති කරගත් එකඟතා අනුව 2015 සිට 2020 දක්වා ස්වේච්ඡා වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

    WUSC ස්වේච්ඡා සහයෝගිතා වැඩසටහන 2020-2027, සංවර්ධනය වෙමින් පවතින රටවල අඩු අවධානයට ලක්වූ පුද්ගලයින්ගේ ජීවිත සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා WUSC විසින් වසර 7 ක කාලයක් තුළ ක්‍රියාත්මක කරනු ලබයි. පසුගිය වසර දෙක තුළ, COVID-19 ආශ්‍රීත සංචාරක සීමාවන් හේතුවෙන් කැනඩාවෙන් ස්වෙච්ඡා සේවකයන් පිටත් කර හැර නොමැත. මේ වනවිට කැනඩාව විසින් ඉහත වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ස්වේච්ඡා සේවාව නැවත ආරම්භ කිරීමට සැලසුම් කරමින් පවතී. මෙම වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ අරමුණ වන්නේ රට තුළ පවතින සංවිධාන ආයතන පුළුල් කිරීම සහ සංවර්ධනය කිරීමයි. ව්‍යාපෘතියේ හවුල්කරුවන් වශයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය, රාජ්‍ය නොවන, පෞද්ගලික සහ සමාජ ව්‍යවසාය අංශය ඇතුළත් වේ.

    මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සඳහා කැනඩාවේ මුළු දායකත්වය 2020-2027 කාලය සඳහා කැනේඩියානු ඩොලර් දෙමිලියන හත්ලක්ෂ හැට දෙදහස් අටසිය පනස් දෙකකි. (CAD 2,762,852.00) වේ.

    මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ එම් එම් සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ කැනඩාවේ මහ කොමසාරිස්  ඩේවිඩ් මැකිනම් මහතා කැනඩා රජය වෙනුවෙන්, 2022 අගෝස්තු 15 වැනි දින මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේදී අවබෝධතා ගිවිසුමට (MOU) අත්සන් තබන ලදී.