කැරකෙන අවන්හල්, සුපිරි වෙළෙඳසැල්, අධිවේගී සෝපාන, සුඛෝපභෝගී හෝටල් සමඟින් කොළඹ උසම තැන – නෙළුම් කුළුණ අද ජනතා අයිතියට

    September, 16, 2019

    ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඉදිවුණු උසම ගොඩනැගිල්ල, කොළඹ නෙළුම් කුළුණ අද (16) පස්වරුවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

    2012 වසරේ දෙසැම්බර් 01 දින ඉදිකිරීම් ඇරඹුණු මෙම නෙළුම් කුළුණ මීටර 350 ක උසකින් යුක්ත වන අතර චීන එක්සිම් බැංකුවේ ඩොලර් මිලියන 104 ක ණය ආධාර මත එහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරිණි.

    ඉලෙක්ට්‍රොනික ප්‍රවේශපතක්

    නෙළුම් කුළුණට ඇතුල්වීම සඳහා ඉලෙක්ට්‍රොනික ප්‍රවේශපත් ක්‍රමවේදයක් යොදා ගැනේ. එය ප්‍රවේශ ස්ථානයේ දී සලකුණු කිරීමෙන් අනතුරුව කුළුණ තුලට ඇතුළත් විය හැකිය. පාසැල් ළමුන්ට සහන මිලකට මෙම ප්‍රවේශපත ලබා ගත හැකිවේ. ඇතුළත් වීමේ දොරටුක් 4ක් තිබේ. මෙහි බිම් මහල සාප්පු සංකීර්ණ සඳහා වෙන් කර ඇත.

    අධිවේගී විදුලිසෝපාන

    මෙහි මගීන් සඳහා විදුලි සෝපාන 3ක් වෙන් කර ඇති අතර ඒවා තත්පරයකට මීටර 7ක වේගයෙන් ධාවනය වේ. මීට අමතරව තවත් සෝපාන 2ක් තිබෙන අතර ඒවා තත්පරයට මීටර 5 ක වේගයකින් ධාවනය වේ. මෙහි ඇති මුළු විදුලි සෝපාන සංඛ්‍යාව 8 කි. මේවා ශ්‍රී ලංකාවේ වේගවත්ම විදුලි සෝපන බව කියැවේ. බිම්මහලේ සිට නෙළුම් කුළුණේ මීටර 245 ක උසින් තිබෙන නැරඹුම් මැදිරිය දක්වා කොටසට යාම සඳහා ගතවන්නේ තත්පර 40ක පමණ කාලයකි.

    උත්සව, සම්මන්ත්‍රණ ශාලා

    නෙළුම් පොහොට්ටුව කොටසේ තෙවන හා සිව්වන මහල උත්සව ශාලා දෙකකින් සමන්විත වේ. මෙහි එක් ශාලාවක පහසුවෙන් අමුත්තන් 350කට සේවා සැලසිය හැකි අතර ඒ අනුව 700 ක පිරිසකට ඉතා සුවපහසුවෙන් මෙහි අසුන්ගත හැකි වනු ඇත. ඉදිරි අනාගතයේ දී අන්තර්ජාලය හරහා මෙහි වෙන්කිරීම් සිදුකර ගත හැකිවේ. මෙහි ව්‍යාපෘති ඉංජිනේරු අනුර කුමාරපේලි මහතා පවසන්නේ මෙය කුළුණක ඇති ලොව එකම උත්සව ශාලාව බවයි.

    කැරකෙන අවන්හල

    කුළුණේ මීටර 234 ක් ගිය තැන කැරකෙන අවන්හල (Revolving restaurant) හමුවේ. මෙහි සම්පූර්ණ වටයක් කැරකැවීම සඳහා ගතවන කාලය මිනිත්තු 90 කි.

    නැරඹුම් මැදිරිය

    මෙය කිසිදු වීදුරු ආවරණයකින් ආවෘත නොවූ විවෘත නැරඹුම් ප්‍රදේශයකි.

    නෙළුම් කුළුණේ ඇන්ටනාව

    මෙය සාමාන්‍ය මහජනතාවට විවෘත නොවන කලාපයකි. විද්‍යුත් මාධ්‍ය/ සන්නිවේදන ආයතන සඳහා සම්ප්‍රේෂණ ඇන්ටනා බදු දීමක් සිදුවේ.

      

     

    විශේෂ ස්තුතිය - නෙළුම් කුළුණ ව්‍යාපෘති ඉංජිනේරු, අනුර කුමාරපේලි මහතාට