කිංග්ස්බරි යථා තත්ත්වයට. අද සිට යළි වැඩ අරඹයි

    April, 24, 2019

    පසුගිය අප්‍රේල් 21 දා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවට ගොදුරු වුණු තවත් එක් ස්ථානයක් වූ කොළඹ කිංග්ස්බරි හෝටලය අද (24) දින සිට සිය සුපරුදු මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කරනු ලබන බව දැනුම් දී සිටී.

    කිංග්ස්බරි හෝටලයේ Harbour Court Multi Cuisine අවන්හලට මෙම ප්‍රහාරයෙන් දැඩි ලෙස අලාභහානි සිදුවුණු අතර, එම අවන්හල හැරෙන්නට හෝටලයේ සෙසු මෙහෙයුම් කටයුතු මෙලෙස අද සිට නැවත ආරම්භ වී තිබේ.

    මේ අතර Harbour Court Multi Cuisine අවන්හලෙහි කටයුතු හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කරලීමට කටයුතු කරනු ලබන බව කිංග්ස්බරි හෝටල් කළමනාකාරීත්වය වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කරනු ලබයි.

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන කිංග්ස්බරි හෝටලයේ බහුතර කොටස් හිමිකාරීත්වය හේලීස් පීඑල්සී සතු වේ. හේලීස් පීඑල්සී හි පාලක කොටස් හිමිකාරීත්වය මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සතුව පවතී.