කිතුණු ජනතාව වෙනුවෙන් හෙට දින සියලු වැඩවලින් ඈත්වන්නැයි මන්ත්‍රී මුජිබර් රහුමන් මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලයි

    April, 25, 2019

    හෙට (26) සිකුරාදා දිනයේ දී මෙරට සියලු මුස්ලිම් ජනයා සිය රැකීරක්ෂා, ව්‍යාපාරික කටයුතුවලින් ඈත් වී, පසුගිය 21 දා සිදු වූ ප්‍රහාරවලින් මියගිය කිතුණු ජනතාව වෙනුවෙන් ආගමික වතාවත්වල යෙදෙන්නැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඉල්ලා සිටී. අද (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් මුජිබර් රහුමාන් මහතා මෙසේ පැවසීය.

    “අද මුළු මුස්ලිම් සමාජයම මෙහි විත්තිකරුවන් බවට පත්වෙලා තිබෙනවා. මුළු මුස්ලිම් සමාජයම හිරිවැටිලා තියෙනවා. මුළු මුස්ලිම් සමාජයම කුමක් කරන්නද, කුමක් කියන්නද කියන එක ගැන අද කල්පනා කර ගෙන ඉන්නවා.“

    “අද නැවත ශ්‍රී ලාංකිකයන් හැටියට මේ රටේ මුස්ලිම් ප්‍රජාවගෙන් මම ඉල්ලා සිටිනවා, 21 වනදා ක්‍රිස්තියානි ජනතාවගේ ප්‍රධාන ආගමික උත්සවයක දී, මේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය, ඒ පවුල්වලට, ඒ වගේම තුවාල ලැබූ පවුල්වලට, ඒ වගේම මේ රටට අත්කරලා දීපු ඉරණමට විරෝධය පළකරන්න, ත්‍රස්තවාදීන්ට මේ ප්‍රහාරයට විරෝධය පළකරන්න, මුළු මුස්ලිම් ජනතාවම, සිකුරාදා දිනයේ අපේ සියලූම වැඩකටයුතුවලින්, අපේ වෙළෙඳ කටයුතුවලින්, අපේ ව්‍යාපාරික කටයුතුවලින්, අපේ රැකී රක්ෂාවලින් අපි ඈත්වෙලා, මේ රටේ ක්‍රිස්තියානි ජනතාව වෙනුවෙන් අපි හෙට දිනය වෙන්කරමු.“

    “ඒ කිතුණු බැතිමතුන්ට කළ ඒ අමානුෂික, ම්ලේච්ඡ ප්‍රහාරය, ඒ වගේම මානව සංහතියට විරුද්ධව කරපු මේ ම්ලේච්ඡ ප්‍රහාරයට විරුද්ධව හෙට දවසේ සියලූම මුස්ලිම් ජනතාව තමන්ගේ ව්‍යාපාරික කටයුතුවලිනුත්, තමන්ගේ රැකීරක්ෂාවලිනුත් ඉවත්වෙලා ආගමික වතාවන්වලට යෙදිලා, ක්‍රිස්තියානි ජනතාවට අපේ සහෝදරාත්මක හස්තය දිගුකරන ගමන්ම මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදයට විරෝධය පළ කරන්නත්, ඒක විනාශ කරන්නත්, ඒක නැති කරන්නත්, අපි එක හිතින්, අපි සියලු දෙනාම එකට ලැහැස්තියි කියන පණිවුඩය හෙට දවසේ ලබා දෙමුයි කියන්න මම කැමතියි.“