කියුබාව සහ ශ්‍රී ලංකාව අතර ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා පුළුල් කිරීමට අවධානය

    February, 23, 2017

    නිල් ආර්ථික වැඩපිළිවෙළ මගින් හඳුන්වා දී ඇති ධීවර කර්මාන්තය හා බැදුණු ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ඉතා ප්‍රශංසනීය බව කියුබානු තානාපතිනි Juana Elena Ramos Rodriguez මහත්මිය පැවසුවාය.

    තානාපතිනිය මේ බව පැවසුවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඊයේ (22) හමුවී සාකච්ජා කිරීමෙන් අනතුරුවය.

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයෙදී මෙම සාකච්ජාව පැවති අතර එහිදී කියුබා තානාපතිවරිය යෝජිත නිල් ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ පැහැදිලි කර දෙනු ලැබිය.

    මෙම වැඩපිළිවෙළ මගින් සාගර සම්පත් මගින් නව ආයෝජන විවර කර ගැනීම හා ධීවර කර්මාන්තය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය මෙන්ම සාගර ප්‍රවාහන ජාලයක්, පරිසර හිතකාමී සංවර්ධන වැඩපිළිවෙළක් හදුන්වා දී ඇත.

    ඒ පිළිබඳ වඩාත් පැහැදුණු කියුබා තානාපතිතුමිය එය ධීවර කර්මාන්තයෙන් විශාල ප්‍රගතියක් අපේක්ෂාවෙන් සිටින තම රටට ද ඉතා වැදගත් බව සදහන් කළේය.

    එබැවින් කියුබාවේ ධීවර කර්මාන්තය පිළිබඳව මෙන්ම දෙරටේ ආයෝජන අවස්ථා පිළිබඳ සොයාබැලීමට එරට නිළ සංචාරයක් සදහා එන්නැයි තානාපතිතුමිය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාගෙන් ඉල්ලීමක් කලාය.

    එම ආරාධනය ඉතා නිහතමානනීව පිළිගත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා දිවංගත ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගේ සමීපතම මිත්‍රයකු වන පිදෙල් කැස්ත්‍රෝ මැතිතුමාගේ පාළන කාලයේ සිට දෙරට අතර පවතින මිත්‍රත්වය වඩාත් ශක්තිමත් කරමින් දෙරට අතර සහයෝගිතා ව්‍යාපාරික අවස්ථා විවර කරගැනීම වෙනුවෙන් කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

    වත්මන් රජය නව ආයෝජන අවස්ථා විවර කර ඇති බැවින් ධීවර කර්මාන්තයේ ආයෝජනය සදහා කියුබා ආයෝජකයන් යොමුකර ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙසද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා මෙහිදී එරට තානාපතිතුමියගෙන් ඉල්ලීමක් කළේය .

    මෙහිදී දිලිප් වෙදආරච්චි මැතිතුමා කියුබා ආහාර හා නිෂ්පාදන අමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා ආරධනය කළේය.