කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්  නඟාසිටුවීමට යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම හා කාර්මික සංවර්ධන මණ්ඩලය අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

    March, 14, 2024

    යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සහ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) එක්ව ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නඟාසිටුවීමේ අරමුණින් තෙවසරක් සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගියදා සිදුවිය. මෙය කාර්මික සංවර්ධන අරමුදල (IDF) හරහා වාර්ෂිකව මෙරට ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 20 දෙනෙකුගේ සංවර්ධනය වෙනුවෙන් එකාබද්ධව සහයෝගය දැක්වීම සඳහා යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම හා කාර්මික සංවර්ධන මණ්ඩලය අතර ගොඬනැගුණූ සහයෝගීතාවයකි. කාර්මික සංවර්ධන අරමුදල මඟින් (IDF) කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශනයන්ට අනූකූලව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) වෙනුවෙන් අවම පොලී අනුපාතිකයක් යටතේ නැවත ගෙවීය හැකි ආකාරයෙන් මූල්‍ය ප්‍රාග්ධනය ලබාදෙනු ලබයි. එසේම අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් පෝෂණය හා සංවර්ධනය කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය විසින් ප්‍රමුඛත්වය දෙනු ලබන අංශවල දේශීය නිෂ්පාදනයන් පුළුල් කිරීමේ අරමුණින් ද මෙම මූල්‍ය ප්‍රාග්ධනය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මාර්තු මස 12වැනි දින මෙහි පළමු ණය කාණ්ඩය තෝරාගත් කාන්තා ව්‍යවසායිකාවන් 10 දෙනෙකු වෙත ලබාදීම සිදුවිය.

    යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම පසුගිය වසර 20 පුරාවට ග්‍රාමීය කාන්තාවන් 15,000කට අධික සංඛ්‍යාවකට "සෞභාග්‍ය" සංකල්පය යටතේ යුනිලිවර් නිෂ්පාදනයන්ගේ මූලික තොග ලබාදීම මඟින් ස්වයං රැකියාවක් ලෙස එම තොග විකිණීම ආරම්භ කිරීමට සවිබල ගැන්වීම සිදුකර ඇත. මෙම "සෞභාග්‍ය" ව්‍යවසායකයින්ගෙන් යුනිලීවර් ආයතනය උපයන ආදායමෙන් කොටසක්, කර්මාන්ත සංවර්ධන අරමුදලට වාර්ෂිකව ප්‍රදානය කිරීම මෙම අවබෝධතා ගිවිසුමේ සුවිශේෂී කරුණක්.

    යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති හා විධායක නිලධාරී අලි තාරික් මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්විය. "ශ්‍රී ලංකාවේ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන කුඩා ව්‍යාපාරවලට සහයෝගය ලබාදීම මෙරට ආර්ථික වර්ධනය හා සාර්ථකත්වය සඳහා සියලු දෙනාගේම කැපවීම දිරිමත් කරනවා. ඉදිරි වසර 03ක කාලය පුරාවට කුඩා ව්‍යාපාර 60කට වැඩි ප්‍රමාණයකට හා ඔවුන්ගේ පවුල්වලට සහයෝගය දැක්වීමට අපට ආරාධනා කිරීම පිළිබඳව කර්මාන්ත අමාත්‍යාංශයට හා කාර්මික සංවර්ධන මණ්ඩලයට අපි ස්තුතිවන්ත වනු ලබනවා."

    කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දක්වන ලදී. " ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ මූලික අංගයක් ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ක්‍රියාත්මක වනු ලබනවා. ඒ වෙනුවෙන් ඔවුන් දිරිගැන්වීම , ප්‍රවර්ධනය හා සංවර්ධනය වෙනුවෙන් කාර්මික සංවර්ධන මණ්ඩලය නිරතුරුවම කැපවීමෙන් කටයුතු කරනවා. විශේෂයෙන් සමාජ - ආර්ථික වර්ධනයේදී කාන්තා ව්‍යවසායකත්වය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබනවා. යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම මෙරට කාන්තා ව්‍යවසායිකාවන් සවිබලගැන්වීමට ලබාදෙන සහයෝගය මම බෙහෙවින් අගය කොට සලකනවා."

    කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේ අදහස් දැක්විය. " අපි විසින් සිදුකරන කුඩා ක්‍රියාවකින් පවා අපගේ අනාගත පරපුරේ යහපැවැත්ම තීරණය කළ හැකි තිරණාත්මක අවස්ථාව ශ්‍රී ලංකා ඉතිහාසයේ අපි පසුකරමින් සිටිනවා. විශේෂයෙන් අපි ආර්ථික සංවර්ධනය කරා ගමන් කරන මාර්ගය තුළ වඩා සාධාරණ ප්‍රතිඵලයක් සනිටුහන් කිරීම වෙනුවෙන් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) කෙරෙහි අපගේ අවධානය යොමුවිය යුතුමයි. මේ අවස්ථාවේදී දේශීය කර්මාන්ත නඟාසිටුවීමට අතහිත දීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන්  යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමට මම ස්තුතිවන්ත වෙනවා”

    මෙම හවුල්කාරීත්වය ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර ,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට සහය දැක්වීම සඳහා යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ වත්මන් කැපවීම මත ගොඩනඟා ඇත. දිවයිනේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට සහයෝගය දක්වමින් මෙරට සෑම නිවසකටම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට ඔවුන් දක්වන ප්‍රයත්නයේ කාර්යභාරයන් වන නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවිකරණ මෙහෙයුම් පිළිබඳව වටිනාකමක් නිර්මාණය කිරීමට යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සමත්වී තිබේ.

    ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දියත් කරන ලද මෙම මුලපිරීම මඟින් සමානාත්මතාවයෙන් යුතු සංවර්ධනයක් උදෙසා යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හා කාර්මික සංවර්ධන මණ්ඩලයෙහි සහයෝගීතාවය සහ මෙරට සංවර්ධනය වෙනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම සහයෝගීතාවයේ වැදගත්කම මැනවින් සනිටුහන් කරයි.