කුරුඳු පෙත්තෙන් ලොවක් දිනූ නවෝත්පාදක ව්‍යාපාරිකයා

    March, 8, 2014

    ලෝකයේ විශාලතම කුරුඳු ගැනුම්කරුවා මෙක්සිකෝවයි. ලෝකයේ විශාලතම කුරුඳු අපනයන කරුවා ශ්‍රී ලංකාවයි. උණු වතුරට කුරුඳු කැබැල්ලක් දමා පානය කිරීමට මෙක්සිකානු වැසියන් ලොල්වී සිටින්නේ චිරාගත කාලයක සිටයි. මේ අනුව, කුරුඳු පානය මෙක්සිකෝවේ සුපතල එකකි.

    මෙක්සිකානු වැසියන් කුරුඳු පානය කරන ආකාරය වෙනස් කරමින් ලෝකයේ පළමු වතාවට කුරුඳුවල රස කොටසින් පෙත්තක් නිර්මාණය කළ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු පිළිබඳව මෙම ලිපිය වෙන්වෙයි. සත්‍ය වශයෙන්ම, මෙම කුරුඳු පෙත්ත නිර්මාණය කිරීම නවෝත්පාදනයක් වන අතර මේ වනවිට ලෝකයේ කුරුඳු පානය කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය මේ නිසා, විප්ලවීය අයුරින් වෙනස් වෙමින් තිබේ.

    මෙම ව්‍යාපාරිකයා සොයා අප කණ්ඩායම පැමිණියේ කිරුළපනටයි. ඔහු නමින් බී. සාරද එම්. ද සිල්වා වන අතර එය මෙරට කුරුඳු කර්මාන්තයේදී ඉහළින්ම කියවෙන නමකි. ඔහු ජාතික කුළුබඩු මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා සහ ඉන්ටර්කොම් සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා මෙන්ම කළමනාකාර අධ්‍යක්ෂවරයාද වේ.

    සිය නවෝත්පාදනය පිළිබඳව හේ අප සමඟ හඬ අවදි කළේය.

    “කුරුඳුවල ග්‍රේඩ් 15 ක් විතර තිබෙනවා. ඇල්බා කියන ග්‍රේඩ් එක ඩොලර් 20 ක් විතර වෙනවා. බාල මට්ටමේ කුරුඳු පතුරු වලට ලැබෙන්නේ ඩොලර් එකහමාරත් දෙකත් වගේ මිලක්. එම පතුරු වලින් තමයි අපි මෙම කුරුඳු පෙත්ත නවීන තාක්ෂණය යොදාගෙන මෙක්සිකෝවේ වෙළඳ පොළට හඳුන්වා දුන්නෙ. කුරුඳු පතුරු වලින් තෙල් හිඳල, ඒකේ රස කොටස වෙන්කර ගෙන තමයි මෙම කුරුඳු පෙත්ත නිෂ්පාදනය කරන්නේ.“

    “ලංකාවේ පුරුදු වුණාට කෑලි විදිහට කෑමට හෝ පාන වර්ග වලට කුරුඳු දාන්න වෙනත් රටවල අය කැමති නෑ. මොකද ? ඒකේ ඉතුරුවක් තියන නිසා. කුඩු කිසිවක් ඉතිරි නොවන කුරුඳු පෙත්තක් නිෂ්පාදනය කිරීමට අපි පෙළඹුණේ මේ නිසා.“

    ඩොලර් දෙකකට පමණ වෙනදා ලෝක වෙළඳ පොළේ අලෙවිකළ කුරුඳු වලටද මේ නිසා අගය එකතු කිරීමට හැකිවූ බවත් එයින් රටට හා තම සමාගමට වැඩිපුර ආදායමක් ලැබෙන බවත් සාරද සිල්වා මහතා අප සමග සඳහන් කළේය.

    මෙක්සිකෝව, ශ්‍රී ලංකාවෙන් වසරකට කුරුඳු මෙට්‍රික් ටොන් 6000 ක් පමණ මිලදී ගන්නා අතර එය මෙරට කුරුඳු නිෂ්පාදනයෙන් සියයට 55 ක පමණ ප්‍රමාණයකි. මින් සියයට 40 ක් පමණම කෑල්ලක් කඩා උණු වතුරට දමා පානය කිරීම සඳහා ඔවුන් යොදාගනී.

    “ඔවුන්ව තමයි අපි මෙම කුරුඳු පෙත්ත මගින් ඉලක්ක කරන්නේ. මේ පෙති දෙකක් උණු වතුරට දාල ටික වේලාවක් තියල, තේ එකක් වගේ බීම දැන් මෙක්සිකෝවේ ගොඩක් ප්‍රචලිතයි.“

    මෙම නිෂ්පාදනයේ පදම වෙළඳ පොළට අවශ්‍ය පරිදි දියුණු කර ගැනීමට වසර එකහ මාරක පමණ කාලයක් ගිය බවත් පවතින ඉල්ලුම සැපයීම සඳහා සමාගම සතු කර්මාන්ත ශාලාවේ ධාරිතාවය ප්‍රමාණවත් නොවන බවත් හෙතෙම කීය. මේ නිසා, ඉදිරියේදී සිය කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ධාරිතාවය තුන් ගුණයකින් වැඩිකරන බවද සාරද ද සිල්වා මහතා පැවසීය.

    ඉන්ටර්කොම් සමාගම විසින් කුරුඳු, පෙති වශයෙන් අපනයනය කර වසරකට ඩොලර් මිලියනයක පමණ ආදායමක් උපයාගනී.

    ශ්‍රී ලංකාව විසින් 2012 වසරේදී අපනයනය කළ කුරුඳු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 14,435 ක් වන අතර ප්‍රධාන වෙළඳ පොළ වන මෙක්සිකෝවට අමතරව දකුණු ඇමරිකාව විසින් ලංකාවේ කුරුඳු වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මිලදීගෙන තිබේ.

    සියවස් ගණනාවක් පුරා ශ්‍රී ලංකාව විසින් කුරුඳු අපනයනය කළත් තවමත් අගය එකතු කරමින් සිදුකරන අපනයනය ඉතාමත් අල්පයක්වීම කණගාටුවට කරුණකි. ගෝලීය කුරුඳු වෙළඳ පොළේ ඒකාධිකාරය ශ්‍රී ලංකාව සතුවන නිසා නිෂ්පාදන වලට අගය එකතු කිරීම මගින් මෙරටට වැඩි ආදායමක් ලබාගැනීමේ හැකියාව තිබේ. මෙවන් වාතාවරණයක් තුළ ලෝකයේ පළමු කුරුඳු පෙත්ත නිෂ්පාදනය කරමින් සාරද ද සිල්වා නැමති මෙම ව්‍යාපාරිකයා සිදුකර තිබෙන නවෝත්පාදනය රටටම ආදර්ශයකි.