කෙටි ආහාර හා අතුරුපස වශයෙන් Dehydrate Fruits සැකසීමේ වැඩපිළිවෙළක්

    June, 12, 2018

    ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග බහුතරයකට හේතුව ප්‍රධාන වශයෙන් ආහාර රටාවන්හි ඇතිව තිබෙන වෙනස්කම්ය. අප රටේ දිනකට පුද්ගලයින් 1000ක් පමණ මිය යන අතර ඉන් සියයට 60ක් එනම් 600ක් පමණ මිය යන්නේ බෝ නොවන රෝගවලිනි. ඉන් අධික ලෙස සීනි සහිත කෙටි කෑම පාරිභෝජනය ඉහළ යාම නිසා දියවැඩියාව ඇතුළු ඇතැම් බෝ නොවන රෝගවලට හේතුවේ.

    එමෙන්ම පාසල්වල පිහිටි ආපන ශාලාවල බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ සීනි සහිත කෙටි කෑමය. තරු පහේ හෝටල්වල ද පැවැත්වෙන සම්මන්ත්‍රණවල දී මේසවල තබා ඇත්තේ සීනි සහිත රසකැවිළි වේ. මේ නිසා දියවැඩියාව සීග්‍රයෙන් අප රටේ ඉහළ යමින් පවතින රෝගයක් බවට පත්ව ඇත.

    මෙම තත්ත්වය වළක්වා ගැනීමට කෙටි ආහාර හා අතුරුපස වශයෙන් වියළි පලතුරු Dehydrate Fruits සැකසීමේ වැඩපිළිවෙළක් වහාම සැකසීමට පියවර ගන්නා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික හදබිම අධිකාරියේ සභාපති ඉන්දික ගුරුගේ හා ජාතික ආහාර ප්‍රවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහත්වරුන්ට උපදෙස් දුන්නේය.

    දිවයිනේ පලතුරු බහුල කාලයට ඒවායින් විශාල ප්‍රමාණයක් භාවිතයට නොගෙන අපතේ යයි. එහෙත් ඇතැම් පලතුරු හිඟ කාලයට ඒවා වියළා ගැනීමෙන් පෝෂ්‍යදායි බවට හානියක් නොවන පරිදි කල් තබා ගැනීමට හැකිවන පරිදි සකස් කොට වෙලෙඳ පොළට යැවීමට හැකි වේ. මේ සඳහා යොදා ගන්නා සරළ යන්ත්‍ර මිල දී ගෙන විශේෂයෙන් ගොවි පවුල්වල කාන්තාවන්හට තම පවුලට අමතර ආදායමක් උපයාගත හැකි වැඩ පිළිවෙළක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසීය.

    අප රටේ බහුලව වැවෙන අඹ, කෙසෙල්, අන්නාසි , දොඩම් හා මිදි වැනි පලතුරුවලින් මෙම වියලි පලතුරු අතුරුපස සකසා ගත හැකිවේ. එමෙන්ම ඒවා ආහාරයට ගැනීම මගින් සීනි භාවිතය අවම කළ හැකි වන අතර ඉන් රෝග වළක්වා ගැනීමට මෙන්ම සිරුරට අවශ්‍ය පෝෂණය ද ලබා ගැනීමට හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

    අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික හදබිම අධිකාරියට හා ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට මෙම උපදෙස් ලබා දෙන ලද්දේ ඊයේ (11) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක් අමතමිනි.

    - news.lk