• Ada Derana BIZ Sinhala
  • CCBSL
  • Coca-Cola
  • sri lanaka

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගමේ නව කළමනාකරණ අධ්‍යක්ෂ තනතුරට දීපක් සෙන්තිල් මහතා පත් කෙරේ

July, 27, 2022

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගමේ (CCBSL) කළමනාකරණ අධ්‍යක්ෂ ධූරය දැරූ මයන්ක් අරෝරා මහතා, 2022 ජූලි මස 01 වනදා සිට බංගලාදේශ කොකා-කෝලා සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස සිය වැඩ බාර ගැනීමත් සමඟ, ශ්‍රී ලංකා සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ තනතුරට දීපක් සෙන්තිල් මහතා පත්කර ඇති බව එම සමාගම නිවේදනය කර සිටියි. මයන්ක් මහතා විසින් වසර 05කට අධික කාලයක් පුරාවට දේශීය හා කලාපීය වශයෙන් සමාගමේ සංවර්ධනය උදෙසා විශාල කැප කිරීමක් සිදු කර ඇති අතර, ඵලදායී හා කාර්යක්ෂම හවුල්කාරීත්වයන් තුළින් සමාගමේ වර්ධනය උදෙසා විශාල මෙහෙවරක් සිදුකර ඇත. එම කැපවීම් හි ප්‍රතිඵල වශයෙන් CCBSL හට ‘Coca-Cola South West Asia (SWA) Bottler of the Year 2020' ඇගයීම ඇතුළුව විවිධ පිළිගැනීම් රැසක් හිමි විය.

ගෝලීයමය වශයෙන් පැන නැගුණු කොවිඩ්-19 වසංගතය හමුවේ දුර්වල වූ ප්‍රජා ආර්ථිකයන් නගා සිටුවීම, මයන්ක් මහතාගේ දූර කාලය තුළ ඒ මහතා හට මුහුණ දීමට සිදුවූ ප්‍රධානතම අභියෝගයක් විය. ඒ සඳහා ඉතාමත් සාර්ථක උපායමාර්ගික සැළැස්මක් දියත් කරමින්, CCBSL විසින් සිය සේවා කණ්ඩායම්හි සහ සියලුම හවුල්කරුවන්ගේ සෞඛ්‍ය, ආරක්ෂාව සහ රැකියා සුරක්ෂිතභාවය ප්‍රමුඛ කොට සැළකිණි. ඒ හරහා සමාගම, ජාතික සෞඛ්‍ය සහ ආරක්‍ෂිත මාර්ගෝපදේශවලට අනුකූලව සිය මෙහෙයුම් දියත් කළ අතර, වැටුප් කප්පාදු කිරීම් වලින් තොරව, වාර්ෂික වැටුප් වර්ධක සහ දිරි දීමනා ලබා දෙමින් සේවක ජීවන තත්ත්වයන් උසස් කිරීමට කැපවී ක්‍රියා කරන ලදී. තවද, ප්‍රාදේශීය මට්ටමෙන් ප්‍රජාවට ශක්තියක් වීමේ අරමුණින්, විෂබීජ නාශක වැඩසටහන් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ඇසුරුම් බෙදා හැරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කරන ලදී.  ඒ මහතාගේ දූරදර්ශි නායකත්වයේ ප්‍රතිඵල වශයෙන්, පසුගිය වසර 05ක කාලය තුළ, කොකා-කෝලා සමාගමේ මෙහෙයුම් ආශ්‍රිත අගයන් වර්ධනය වූ අතර, ඒ හේතුවෙන් ඉහළ වෙළඳපොල කොටසකට හිමිකම් පෑමට සමාගමට හැකි විය. තවද, කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව අඛණ්ඩව වැඩිදියුණු කිරීමේ ශක්තිමත් සංස්කෘතියක් සමාගම තුළ නිර්මාණය කිරීමට ඒ මහතා කැපවී ක්‍රියා කළ අතර, එහි ප්‍රතිඵල වශයෙන් Coca-Cola Bottling Investments Group (BIG) තුළ, ශ්‍රී ලංකා වෙළඳ පොළ වඩාත් සාර්ථක වෙළඳපොළක් වශයෙන් ස්ථානගත කරන ලදී.

පසුගිය වසර 3ක කාලයක් පුරාවට, දේශීය වෙළඳ පොළ මුහුණ දුන් විවිධ ආර්ථික, සමාජීය හා සෞඛමය අභියෝග හමුවේ, මයන්ක් මහතා විසින් සමාගමේ තිරසාර සංවර්ධන දැක්ම උදෙසා වැඩි අවධානයක් යොමු කරමින් ක්‍රියා කරන ලදී. ඒ හා සමගාමීව, ගෝලීයව ක්‍රියාත්මක වන ‘World Without Waste’ වැඩසටහනට ඒකාබද්ධව, ‘Give Back Life’ PET ප්ලාස්ටික් එකතු කිරීමේ සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩසටහන ශ්‍රී ලංකාවේ අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලදී. තවද, කාන්තාවන් සවිබල ගැන්වීමේ සහ දේශගුණික ක්‍රියාකාරකම් සහ පරිසරය සුරැකීම ආශ්‍රිත මුල පිරීම් රැසක් සඳහා සමාගම සිය සහයෝගය ලබාදෙන ලදී.  එම වැඩසටහන් වල සාර්ථකත්වය උදෙසා CCBSL හට කිහිප වරක්ම විවිධ ඇගයීම් ද හිමි විය.  ඒ අතර, 2021 වර්ෂයේ පැවැත්වුණු Annual Solar Awards හි සමාගම ලබාගත් සුවිශේෂී ඇගයීම විශේෂ වේ. තවද, සමාගම 2020 දී ගෝලීය ඉලක්ක ඉක්මවා යමින්, විවිධ ජලය ආශ්‍රිත වැඩසටහන් හරහා ප්‍රජාවන්ට සහ සොබාදහමට සිය බීම නිෂ්පාදනය සඳහා භාවිතා කරන ජල ප්‍රමාණය මෙන් දෙගුණයක් ආපසු ලබා දීමට ක්‍රියා කර ඇත. තවද, සමාගම විසින් 'ජීවිතයට ජලය’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින්, පෞරාණික වශයෙන් වැදගත්කමක් ඇති අනුරාධපුර නගරයේ ගම්මානයක, ඉපැරණි ජලාශ දෙකක් ප්‍රතිසංස්කරණය කර ඇත. එම කර්තව්‍ය උදෙසා, ලංකා වාණිජ මණ්ඩලය විසින් ලබාදෙන, හොඳම තිරසාර ව්‍යාපෘතියට හිමි සම්මානයෙන් සාමාගම පිදුම් ලබන ලදී.

සමාගම මෙතෙක් දුර රැගෙන ආ සාර්ථකත්වයන් ද සමඟින් එහි ඉදිරි සංවර්ධන වැඩසටහන් සඳහා නායකත්වය ලබාදීමට දීපක් සෙන්තිල් මහතා සුදානම්ව සිටියි. සමාගමේ ඉදිරි සංවර්ධනය උදෙසා සඳහා ඔහු සතු ප්‍රවීණත්වය සහ ක්ෂේත්‍ර දැනුම මැනවින් උපකාරී වනු ඇත. සෙන්තිල් මහතා, හින්දුස්ථාන් කොකා-කෝලා බෙවරේජස් සමාගමේ (HCCB), විකුණුම්, RGM, වෙළඳ අලෙවිකරණය, කාණ්ඩ කළමනාකරණය සහ කලාප නායකත්වය දරමින් වසර 20කට වැඩි කාලයක් සේවය කර ඇත. වඩාත් උපායමාර්ගික නායකත්වය රටාවක් පෙන්නුම් කරන ඔහු, වඩාත් ඵලදායී වාණිජ උපාය මාර්ගික සැලසුම් කිරීමට මෙන්ම සාර්ථක හවුල්කාරීත්වයන් තුළින් සමාගම සංවර්ධනය කිරීමට විශාල දායකත්වයක් ලබාදී ඇත. ඔහුගේ දිගුකාලීන වෘත්තීය පළපුරුද්ද සහ විශේෂඥභාවය, සමාගමේ ඉදිරි ප්‍රගතිය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත.

CCBSL විසින් මයන්ක් මහතාගේ ඉදිරි වැඩකටයුතු සඳහා සුභ පතන අතර, දීපක් මහතාගේ නායකත්වය යටතේ, සමාගමේ තවත් උද්යෝගිමත් පරිච්ඡේදයක් ආරම්භ කිරීමට සූදානම්ව සිටියි.

 

ඡායාරූප විස්තරය : CCBSL හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ මයන්ක් අරෝරා මහතා සහ නව කළමනාකරණ අධ්‍යක්ෂ දීපක් සෙන්තිල් මහතා