කොකා කෝලා : ස්ථිර වචනයක් තවම නැහැ – මලික්

    March, 8, 2017

    කොකා කෝලා සමාගම විසින් සිය කර්මාන්ත ශාලාවක් මෙරට පිහිටුවීම සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් මේ දක්වා සිදුකර නොමැති බව ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. ඊයේ පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    “කොකා කෝලා නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් මෙරට පිහිටුවීම සඳහා මේ දක්වා කිසිදු යෝජනාවක් අදාළ සමාගමෙන් ලැබී නැහැ. එවැනි යෝජනාවක් අපිට ලැබුණා නම්, එය අනුමත කිරීමට පෙර පාරිසරික අධ්‍යයනයක් සිදුකොට වාර්තාවක් කැඳවීම අනිවාර්යයෙන් සිදුකරනු ලබනවා“, යැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    ශ්‍රී ලංකාව තුළ කොකා කෝලා සමාගමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පිහිටුවා, නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් බවට මෙරට පත්කරලීමට එහි ප්‍රධානීන් කැමැත්ත පළ කර බව මුදල් අමාත්‍යවරයා පසුගිය දා අනාවරණය කරනු ලැබීය.