කොටස් ගනුදෙනු සක්‍රීය වෙයි. පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි

    June, 14, 2019

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (14) දිනයේ දී මෙම සතියේ පූර්ව දිනයන්ට සාපේක්ෂව වඩාත් සක්‍රීය ස්වභාවයක් පෙන්නුම් කළේය. මෙහි ඇති සුවිශේෂී සිදුවීම දිනය තුළ රුපියල් බිලියන 1.14 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීමයි.

    2019 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී තිබෙන දෛනික සාමාන්‍ය පිරිවැටුම රු. මිලියන 525ක් වන අතර ඊට සාපේක්ෂව දෙගුණයක පමණ පිරිවැටුමක් අද දින වාර්තා වී තිබේ.

    කෙසේ වෙතත් සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 3.64ක් සටහන් වූ අතර දිනය අවසානයේ දී එහි අගය සටහන් වූයේ ඒකක 5,383.72 ක් වශයෙනි. S&P SL20 දර්ශකය ඒකක 9.08කින් ඉහළ ගොස් ඒකක 2,512.68ක් ලෙසින් වාර්තා විය.

    දිනය තුළ සාකච්ඡා කරන ලද ගනුදෙනු 5ක් වාර්තා විය. මෙහිදී පෑන්ඒෂියන් පවර් සමාගමේ කොටස් මිලියන 100 ක් රු. 3.00 බැගින් හා වැලිබල් පවර් සමාගමේ කොටස් මිලියන 63.45ක් රු. 5.80 බැගින් ගනුදෙනු වූ පිළිවෙලින් රු. මිලියන 300 ක හා රු. මිලියන 368 ක පිරිවැටුම් එම ගනුදෙනු දෙක හරහා වාර්තා විය. මීට අමතර COLOMBO FORT LAND & BUILDING සමාගමේ කොටස් මිලියන 1.85 ක් රු. 12.50 බැගින්, S M B LEASING සමාගමේ කොටස් මිලියන 85.8ක් සත 40 බැගින් හා වටවල වැවිලි සමාගමේ කොටස් මිලියන 8.51ක් රු. 18.60 බැගින් ගනුදෙනු විය.