කොටස් පොළේ අද රැළි පෙරළි මෙන්න

    March, 19, 2014

    අද කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු ඉහළ ගිය අතර ඊයේ මෙන්ම අදත් විදේශීය ආයෝජකයින් වැඩිපුර කොටස් විකුණා දැමීය.

    මේ අනුව, අද දිනයේදී රුපියල් මිලියන 74 ක විදේශීය ශුද්ධ විකුණුම් වාර්තා වූ අතර විදේශීය ආයෝජකයින් රුපියල් මිලියන 454 ක් වටිනා කොටස් අලෙවි කරද්දී රුපියල් මිලියන 180 ක් වටිනා කොටස් මිලදීගෙන තිබේ.

    ඊයේ මෙන්ම අදත් ජෝන් කීල්ස් හා හේමාස් හෝල්ඩින්ග්ස් සමාගම්වල කොටස් විදේශීය ආයෝජකයින් විසින් විකුණා දැමූ අතර ජෝන් කීල්ස් සමාගමින් රුපියල් මිලියන 257 ක විදේශීය ශුද්ධ විකුණුම් සහ හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමෙන් රුපියල් මිලියන 11 ක විදේශීය ශුද්ධ විකුණුම් වාර්තා විය. මීට අමතරව, අද ඩයලොග් සමාගමේද රුපියල් මිලියන 35 ක විදේශීය ශුද්ධ විකිණීම් වාර්තා වී තිබේ.

    අද ශුද්ධ විදේශීය මිලදීගැනීම් වාර්තා වූයේ සම්පත් බැංකුවෙනි. එම ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 19 ක් වේ.

    අද සමස්ත මිල දර්ශකය ඒකක 4.41 කින් ඉහළ ගොස් ඒකක 5,912.05 ක්වූ අතර එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 10.58 කින් ඉහළ ගොස් ඒකක 3,225.22 ක් විය.

    දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 640.9 කි.  අද ඩයලොග් කොටස් මිලියන 05 ක්ද, ජෝන් කීල්ස් කොටස් මිලියන 1.7 ක්ද අලෙවි කර තිබේ. නෙස්ලේ කොටසක් රුපියල් 42.90 කින් ඉහළ ගොස් රුපියල් 1955 ක්ද, හැටන් නැෂනල් බැංකුවේ කොටසක් රුපියල් 05 කින් ඉහළ ගොස් රුපියල් 157.90 ක්ද, කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් කොටසක් ශත 20 කින් ඉහළ ගොස් රුපියල් 4.00 ක්ද වී ඇත.

    ලංකා දුම්කොළ සමාගමේ කොටසක් අද රුපියල් 20 කින් පහළ ගොස් රුපියල් 1100 ක්වූ අතර චෙව්රන් කොටසක් රුපියල් 02 කින් පහළ ගොස් රුපියල් 267 ක් විය.

    මේ අතර,  අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාත පහළ වැටුණු අතර මාස තුනේ බිල්පත් පොලිය සියයට 6.66 ක් දක්වාද මාස හයේ බිල්පත් පොලිය සියයට 6.83 ක් දක්වාද අවුරුද්දේ බිල්පත් පොලිය සියයට 7.05 ක් දක්වාද පහළ වැටී තිබේ.