කොටස් මිල ඉහල යාම ගැන ලංකෙම් ඩිවලොප්මන්ට්ස් වෙතින් කරුණු විමසයි

    September, 18, 2017

    පසුගිය සතිය තුළ ලංකෙම් ඩිවලොප්මන්ට්ස් සමාගමේ කොටස් මිල සීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳව කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් ලංකෙම් ඩිවලොප්මන්ට්ස් පීඑල්සී වෙතින් කරුණු විමසීමක් කර තිබේ.

    මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සමාගම විසින් පසුගිය සැප්තැම්බර් 15 වන දින කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ, කොටස් මිල ඉහළ යාම සම්බන්ධයෙන් අනාවරණය නොවූ කිසිදු මිල සංවේදී තොරතුරක් නොමැති බවයි.

    තවද කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් නිරීක්ෂණය කරනු ලැබූ ලංකෙම් ඩිවලොප්මන්ට්ස් පීඑල්සී කොටස් ගනුදෙනු සම්බන්ධයෙන් තම දැනුවත්භාවයක් නොමැති බව ද සමාගම මෙහිදී අවධාරණය කර සිටී.

    පසුගිය සිකුරාදා දිනයේ දී ලංකෙම් ඩිවලොප්මන්ට්ස් සමාගමේ කොටසක මිල රු. 6.40 සිට රු. 8.70 දක්වා 36% කින් ඉහළ ගියේය. දිනය සමාප්තියේ දී කොටසක මිල රු. 8.20 ක් ලෙසින් වාර්තා වූ අතර පසුගිය අගෝස්තු 24 දින සිට සැප්තැම්බර් 15 දින දක්වා ගනුදෙනු දින 14 ක් තුළ දී 134% කින් ලංකෙම් ඩිවලොප්මන්ට්ස් සමාගමේ කොටස් මිල ඉහළ ගොස් ඇත. එසේම සිකුරාදා (15) දිනයේ දී සමාගමේ කොටස් මිලියන 5.1 ක් කොටස් වෙළෙඳපොළ තුළ ගනුදෙනු වී තිබිණි.