කොටස් වෙළඳපොළ කඩාවැටීමෙන් පීඩාවට පත් සියලුම ආයෝජකයින්ට සහන සලසන්න සුරැකුම්පත් කොමිසම පියවර ගනී

    April, 1, 2020

    ලැයිස්තුගත සමාගම් කොටස්වල මිල ගණන් පහත වැටීම හේතුවෙන් 2020 මාර්තු 11 වන දින හෝ ඊට ආසන්න කාලයකදී ආයෝජකයින්ට ඇති වූ බලපෑම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් සියලුම බලපත්‍රලාභී කොටස් තැරැව්කරුවන්ගේ සහ ලියාපදිංචි ආන්තික ණය පහසුකම් සැපයුම්කරුවන්ගේ සේවාදායකයින්ට ණය සහනයක් ලබා දීමට තීරණය කර තිබේ. මේ අනුව ආයෝජකයින්ගේ ණය සඳහා පොළී ගෙවීමට ඇති කාලය 2020 මාර්තු 11 වනදා සිට ආරම්භ වන පරිදි දීර්ඝ කර තිබේ.

    පවත්නා කොවිඩ් -19 ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ව්‍යාපාරිකයින්ට සහ පුද්ගලයන්ට සහන සැලසීමට 2020.03.20 දින පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ පුළුල් පරාසයක විහිදුණු ෆිස්කල් හා මූල්‍ය සහන ප්‍රකාරව මෙම තීරණය ගෙන ඇත.

    එබැවින් සියලුම බලපත්‍රලාභී කොටස් තැරැව්කරුවන් වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද තීරණවල ප්‍රතිලාභ තම ගනුදෙනුකරුවන්ට ලබා දෙන ලෙසට උපදෙස් දී ඇති අතර 2020 ජුනි 30 වන දින දක්වා තම සේවාදායකයින්ට ලබා දී ඇති ණය සඳහා පොළිය අය කිරීමෙන් වළකින ලෙසට උපදෙස් දෙනු ලැබේ.

    මෙය තාවකාලික පියවරක් වන අතර, ශ්‍රී ලංකාවේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වරින් වර මෙම නියෝගයේ බලපෑම නිරීක්ෂණය කොට සමාලෝචනය කරනු ලබන අතර, අවශ්‍ය වුවහොත් 2020 ජුනි 30 දිනට පෙර හෝ පසුව මෙම නියෝගය සංශෝධනය කිරීමට පියවර ගනු ඇත.