කොටස් වෙළෙඳපොළට අලුතින් පුවරු දෙකක්

    February, 20, 2017

    කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවදානම තවදුරටත් අඩු කිරීමේ පරමාර්ථය ඇතිව ගෙවීම් පියවීම් හා හිමිකම් හුවමාරු පද්ධතියක් (Delivery Vs Payment Settlement System) ස්ථාපිත කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ උපදේශක හිරාන් මෙන්ඩිස් මහතා පැවසීය. ගැනුම් හා විකුණුම් යන පාර්ශව දෙකේම අභිවෘද්ධිය සඳහා කොටස් හුවමාරුව සහ ඒ වෙනුවෙන් අදාළ මුදල් පියවීම එකම දිනක් තුළ සිදුවන අකාරයෙන් මෙම පද්ධතිය ස්ථාපිත කරනු ලබන බව එහිදී වැඩිදුරටත් ඔහු විසින් ප්‍රකාශ කරනු ලැබීය.

    මේ අතර දැනට කොටස් වෙළෙඳපොළේ තිබෙන ‘ප්‍රධාන පුවරුව‘ සහ ‘දිරිසවි පුවරුව‘ ට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ පුවරුවක් සහ බහු මුදල් ඒකක පුවරුවක් ආරම්භ කිරීමට ද කටයුතු යොදෙන බව හෙතෙම කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිරාන් මෙන්ඩිස් මහතා මෙසේ සඳහන් කළේය.

    “ලෝකයේ ඕනෑම රටක් බැලුවත් ගොඩක් දුරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තමයි ආර්ථික හසුරුවන්නේ. ඔවුන් වෙනුවෙන් අතදීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ පුවරුවක් කොටස් වෙළෙඳපොළේ ස්ථාපිත කරන්න කටයුතු කරගෙන යනවා. රටක ආර්ථිකයේ කොඳුනාරටිය රඳා පවතින්නේ සුළු හා මධ්‍යම පරිමාණ සමාගම් සමඟ. එසේම ඔවුන් ස්ථාවර වන්න ගොඩක් කල් යනවා. සමහර ව්‍යාපාර ගොඩක් කල් පවතින්නේ නැහැ. බොහෝ දුරට ඒවා පවුල් සමාගම් වීම නිසා එම සමාගම්වල සාංගාමික යහපාලනය නැතිවීම ඊට ප්‍රධාන හේතුවක් වෙනවා. ප්‍රාග්ධනය රැස්කර ගැනීම වගේම එවැනි කාරණා සඳහාත් මෙමඟින් සහායක් ලැබෙනවා.“

    “ප්‍රාග්ධන වෙළෙඳපොළේ වැඩිදියුණ කළ යුතු අංශයක් ලෙසින් ණයකර හඳුන්වන්න පුළුවන්. ණයකර අප ලැයිස්තුගත කරනවා. නමුත් ණයකර බොහෝ දුරට ගනුදෙනු වෙනවා අඩුයි. ඒකට මොනවා හරි පිළියමක් යොදන්න ඕනේ.“

    “ඒ වගේම කොළඹ කොටස් වෙළෙඳපොළේ බහු මුදල් ඒකක පුවරුවක් (Multi-currency board) ආරම්භ කිරීමට ද කටයුතු යොදා තිබෙනවා. එය කොටස් වෙළෙඳපොළට වගේම රටටත් ප්‍රයෝජනවත් වන දෙයක්. එහිදී ලංකාවේ සමාගම් වගේම විදෙස් සමාගම් ලැයිස්තුගත කිරීමට ද බලාපොරොත්තු වෙනවා.“

    “තවත් එකක් තමයි, කොළඹ කොටස් වෙළෙඳපොළ අසාමූහිකරණය (Demutualization) කිරීමේ කර්තව්‍ය. ගිය අවුරුද්දේ ජූනි මාසයේ දී ආසියානු සංවර්ධන බැංකුවත් සමඟ මේ පිළිබඳ කතා කළා. ඒ සඳහා මේ අවුරුද්දේ ආසියානු සංවර්ධන බැංකුවෙන් තාක්ෂණික සහයෝගය ලැබෙනවා එය තවදුරටත් ගෙනියන්න. එය මහජනතාවට වගේම තැරැව්කාර ආයතනවලට, ආයෝජකයින්ට, ලැයිස්තුගත සමාගම්වලට ප්‍රතිලාභ ගෙන දෙන කටයුත්තක් වේවි“.

    දේශීය නාලිකාවක පැවති ආයෝජකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් හා එක්වෙමින් හිරාන් මෙන්ඩිස් මහතා විසින් මෙම අදහස් පළ කරනු ලැබීය.