කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික දිනයක්. සියලු කොටස් 1.5% කින් ඉහළට. පිරිවැටුම රු. බිලියන 23 ඉක්මවයි

    January, 9, 2020

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 88.71 කින් ඉහළ ගොස් ඒකක 5,987.55 ක් ලෙසින් වාර්තා විය. එය පෙර දිනයට වඩා 1.50% ක ඉහළ යාමකි. ඊයේ (08) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 127 කින් පහළ ගිය පසුබිමක් තුළ අද දිනයේ දී මෙලෙස ක්ෂණික ප්‍රතිසාධනයක් (recovery) පෙන්නුම් කිරීම සුවිශේෂී තත්ත්වයකි.

    මේ අතර S&P SL20 දර්ශකය අද දින 1.74% ක වර්ධනයක් සනිටුහන් කළේ පෙර දිනයට සාපේක්ෂව ඒකක 48.31 ක වර්ධනයක් වාර්තා කරමිනි. ඒ අනුව දිනය අවසානයේ දී S&P SL20 දර්ශකය ඒකක 2,830.76 ක් ලෙසින් සටහන් විය.

    අද දින කොටස් වෙළෙඳපොළ වඩාත් අවධානයට පාත්‍ර වූ කරුණ වූයේ දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 23.63 ක් ලෙසින් වාර්තා වීමයි. මෙය කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ වාර්තා වූ දෙවැනියට විශාලතම පිරිවැටුම ලෙසින් වාර්තා වේ.

    මේ සඳහා හේතු වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි දෙවැනියාට විශාලතම කොටස්කරු වූ මැලේසියාවේ ස්වෛරීත්ව ධන අරමුදල වන Khazanah Nasional Berhad නියෝජනය කරනු ලබන Broga Hill Investments Ltd විසින් සිය කොටස් හිමිකාරීත්වය සම්පූර්ණයෙන් විකුණා දැමීමයි. ඔවුන් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් මිලියන 141.85කට හිමිකම් කියූ අතර එය සමාගමේ නිකුත් කළ ප්‍රාග්ධනයෙන් 10.76% කි. මෙහිදී එක් කොටසක් අලෙවි වූයේ රු. 160.00 බැගිනි. ඒ අනුව මෙම ගනුදෙනුවේ මුළු වටිනාකම රුපියල් බිලියන 22.69 ක් වේ. මෙහිදී කොටස් මිල දී ගැනීම් සිදු කර ඇත්තේ CITIGROUP GLOBAL MARKETS LIMITED විසිනි.

    2008 වසරේ අප්‍රේල් 01 වැනි දින ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ දෙවැනියට විශාලතම කොටස්කරුවා වූ ජපානයේ NTT Communications Corporation විසින්, 44.8% ක්වූ සිය කොටස් අයිතිය Global Telecommunications Holdings NV වෙත අලෙවි කිරීම හරහා සිදුවූ ගනුදෙනුව මෙතෙක් කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා වූ විශාලතම ගනුදෙනුව ලෙසින් සටහන් වේ. එය රුපියල් බිලියන 33 ක ගනුදෙනුවකි.

    මෙම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටස් ගනුදෙනුවත් සමඟම කොටස් වෙළෙඳපොළේ අද දින විදේශීය මිල දී ගැනීම් රුපියල් බිලියන 22.94 ක් හා විදේශීය විකිණුම් රුපියල් බිලියන 23 ක් ලෙසින් වාර්තා වී තිබේ.