කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පසුබැස්මක්. විදෙස් ආයෝජකයෝ අදත් සක්‍රීය වෙති

    February, 7, 2023

    අඛණ්ඩව දෙවන දිනයටත් අද (07) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් වාර්තා විය.

    දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 124.28 කින් පහළ ගොස් ඒකක 8,975.86 ක් ලෙසින් දැක්වුණු අතර S&P SL20 දර්ශකය ඒකක 51.43 කින් පහළ ගොස් ඒකක 2,785.19 ක් ලෙසින් වාර්තා වුණි.

    සම්පත් බැංකුව, LOLC හෝල්ඩිංග්ස්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, මෙල්ස්ටාකෝප් සහ වැලිබල් වන් ඇතුළු සමාගම් 127 ක කොටස් මිල ගණන් අද දිනයේ දී පහළ යාම සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට හේතුවී තිබුණි.

    රු. බිලියන 2.22 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

    මෙහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.2 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 1.87 ක් ලෙසින් සටහන් වූ අතර විදෙස් ආයෝජකයින්ගේ දායකත්වය නැවත වරක් යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් රු. බිලියන 1.02 ක විදේශීය මිල දී ගැනීම් අද දින වාර්ත වී තිබුණි. විදේශීය විකිණුම් සටහන්ව තිබුණේ රු. මිලියන 342.50 ක් ලෙසිනි.