• Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්. විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ක්‍රමයෙන් ඉහළට

September, 2, 2022

කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනීය ප්‍රවණතාව තවදුරටත් සනිටුහන් කරමින් අද (02) දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 61.64 කින් ඉහළ ගොස් ඒකක 9,316.45 ක් ලෙසින් වාර්තා විය. සියලු කොටස් මිල දර්ශකයේ අඛණ්ඩ වර්ධනයක් වාර්තා වූ සිව්වැනි දිනය අදයි. S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 4.29ක සුළු වර්ධනයක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී එය ඒකක 3,009.61 ක් ලෙසින් සටහන්ව තිබුණි.

රු. බිලියන 4.2 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය. එහිදී දක්නට ලැබුණු සුවිශේෂී කරුණ නම් අද දිනයේ දීද ශුද්ධ විදේශීය ගලාඒමක් කොටස් වෙළෙඳපොළෙන් දක්නට ලැබීමයි. එහිදී විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 807.15 ක් ලෙසත් විදේශීය විකිණුම් රු. මිලියන 281.46 ක් ලෙසත් සටහන් වූ අතර දිනය තුළ දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.45 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 3.92 ක් ලෙසින් වාර්තා විය.

සමස්තයක් ලෙස මෙම සතිය සැලකීමේ දී රු. බිලියන 2.59 ක විදේශීය මිල දී ගැනීම් අගයයක් වාර්තා වී ඇති සතියේ මුළු විදේශීය විකිණුම් ප්‍රමාණය වාර්තා වන්නේ රු. මිලියන 948.05 ක් ලෙසයි. ඒ අනුව රු. බිලියන 1.64 ක ශුද්ධ විදේශීය ගලාඒමක් මෙම සතිය තුළ වාර්තා වී තිබේ. සතියේ සමස්ත පිරිවැටුමේ වටිනාකම රු. බිලියන 15.61 කි.