කොටස් වෙළෙඳපොළ අද වේලාසනින්ම වැසී යයි

    June, 6, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සැසිය අද (06) දිනයේ දී නියමිත වේලාවට කලින් අවසන් කිරීමට සිදුව තිබේ.

    කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි.

    මේ අනුව කොටස් වෙළෙඳපොළ වසා දමනු ලැබූ අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 301.84 කින් පහළ ගොස් ඒකක 7,752.93 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 132.66 කින් පහළ ගොස් ඒකක 2,515.01 ක් ලෙසත් සටහන්ව තිබුණි.

    මෙය පිළිවෙලින් පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 3.75% ක හා 5.01% ක පහළ යාමකි.

    සාමාන්‍යයෙන් S&P SL20 දර්ශකය 5% ක් ඉක්මවා පහළ යන අවස්ථාවක දී මිනිත්තු 30 ක කාලයකට කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය ගනුදෙනු අත්හිටුවනු ලබයි.

    රු. බිලියන 1.46 ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා වී තිබිණ.

    අද දිනයේ දී මෙලෙස ගනුදෙනු අත්හිටුවීම පස්වරු 12.10 ට සිදුකෙරුණු අතර පස්වරු 12.30 ට කොටස් වෙළෙඳපොළ වසාදමනු ලබන බැවින් නැවත වෙළෙඳපොළ විවෘත කිරීමට අවස්ථාවක් නොමැති වීම කරණ කොට ගෙන වෙළෙඳපොළ වසා දැමීම සිදුවිය.