කොටස් වෙළෙඳපොළ – විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට

    June, 3, 2020

    කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජන කෙරෙහි මේ වන විට විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවක් පසුගිය දින කිහිපය තුළ වාර්තා පිරික්සීමේ දී පෙනී යයි.

    ඊයේ (02) දිනයේ දී රු. බිලියන 1.08 ක දෛනික පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී රු. මිලියන 530.66 ක්වූ දේශීය මිල දී ගැනීම් ඉක්මවා රු. මිලියන 556.22 ක් ලෙසින් විදේශීය මිල දී ගැනීම් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

    මේ අතර සඳුදා (01) දිනයේ දී ශුද්ධ විදේශීය ගලා ඒමක් වාර්තා කරමින් රු. මිලියන 281.32 ක්වූ විදේශීය විකිණුම් ඉක්මවා රු. මිලියන 307.87 ක් ලෙසින් විදේශීය මිල දී ගැනීම් සටහන්ව තිබුණි.

    තවද පූර්ව සතියේ (මැයි 26-29) සමස්ත ගනුදෙනු වාර්තා අනුව සතිය තුළදී රු. බිලියන 1.62 ක විදේශීය මිල දී ගැනීම් වාර්තා වන අතර එම සතියේ දී විදේශීය විකිණුම් රු. බිලියන 1.53 ක් ලෙසින් වාර්තා වී තිබේ.

    මැයි 18-22 සතියේ දී විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 593.11 ක් ලෙසින් වාර්තා වූ අතර විදේශීය විකිණුම් රු. බිලියන 3.99 ක් ලෙසින් සටහන්ව තිබූ පසුබිමක පසුගිය දින කිහිපය තුළ කොටස් වෙළෙඳපොළ වෙත විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව යම්තාක් දුරකට වර්ධනය වී ඇති බවක් මේ අනුව නිරීක්ෂණය කළ හැකිය.

    ඊයේ (02) දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,790.60 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 1,972.78 ක් ලෙසත් සටහන්ව තිබිණ.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව කොටස් වෙළෙඳපොළේ විදෙස් ගනුදෙනු සම්බන්ධයෙන් මෙසේ කියා සිටී.

    “ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනුවලින් පමණක් සමන්විත වූ කොළඹ කොටස් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන 2020 වසෙර් මාර්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය. කොළඹ කොටස් වෙළෙඳපොළ 2020 මාර්තු මැද සිට මැයි මැද දක්වා වසා දමා තිබුණි. සමුච්ඡිත පදනම මත, 2020 වසරේ පළමු මාස තුන තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ එක්සත් ජනපද ඩොලර් මිලියන 28ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.“