කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට

    January, 29, 2020

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (29) දිනයේ දී ඒකක 51.49 ක ඉහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,936.30 ක් ලෙසින් සටහන් විය. මෙම සතියේ මුල් දින දෙක තුළ දී සියලු කොටස් මිල දර්ශකය පිළිවෙලින් ඒකක 56.66 ක් සහ 49.82 ක් බැගින් පහළ ගොස් තිබුණු පසුබිමක අද දින මෙලෙස මිල දර්ශකවල ඉහළ යාමක් වාර්තා වීම විශේෂත්වයකි.

    මේ අතර S&P SL20 දර්ශකය අද දින ඒකක 21 කින් ඉහළ ගොස් ඒකක 2,838.73 ක් ලෙසින් සටහන්ව තිබුණි.

    අද දින වඩාත් කැපී පෙනුනු කරුණක් වූයේ දෛනික පිරිවැටුම රුපියල් බිලියනය සීමවා ඉක්මවා වාර්තා වීමයි. අද දින දෛනික ගනුදෙනු පිරිවැටුම මේ අනුව රු. බිලියන 1.11 ක් ලෙසින් සටහන් විය. මෙහිදී රු. මිලියන 726 ක විදේශීය විකිණුම් වාර්තා වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 24.86 ක් තරම් පහළ අගයයක් විය.

    අද දින මිල දර්ශකවල ඉහළ යාම සඳහා ලංකා දුම්කොළ සමාගම, ඩිස්ටිලරීස් ලංකා, LOLC, කාගිල්ස් හා සම්පත් බැංකුව වැඩි දැයකත්වයක් ලබා දෙන ලදී.

    සමාගම් 4 ක ගිවිසා ගනු ලැබූ කොටස් ගනුදෙනු අද දින වාර්තා විය. මෙහිදී කොමර්ෂල් බැංකුවේ කොටස් මිලියන 2.5 ක් කොටසක් රු. 92.00 බැගින්, HNB කොටස් 126,144 ක් එකක් රු. 159.00 බැගින්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කොටස් 600,00 0 ක් එකක් රු. 78.00 බැගින් සහ සම්පත් බැංකුවේ කොටස් 610,000 ක් කොටසක් රු. 164.00 බැගින් ගනුදෙනු වී තිබුණි.

    සියලු කොටස් මිල දර්ශකයට අනුව 2020 වසරේ අද (29) දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොටස් වෙළෙඳපොළ 3.15%කින් පහළ ගොස් ඇත.