කොටස් වෙළෙඳපොළ 2018 මුල් සතියේ ප්‍රගතිය 2017 වාර්ෂික වර්ධනය ඉක්මවයි

    January, 8, 2018

    2018 වසරේ මුල් සතිය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 145.47 ක කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කිරීමට සමත් වී තිබේ. මෙහි ඇති විශේෂත්වය නම් පසුගිය 2017 වසර පුරාවටම කොටස් වෙළෙඳපොළේ වර්ධනය ඒකක 141 හෙවත් 2.26% ක් පමණක් වීම නිසාය.

    මේ අනුව 2018 වසරේ මුල් දින 4 තුළ දී පමණක් 2.28% ක වර්ධනයක් කොටස් වෙළඳපොළ අත්පත් කර ගෙන ඇත.

    මෙම වකවානුව තුළ දී රුපියල් බිලියන 2.59 ක විදේශීය මිල දී ගැනීම් වාර්තා වී තිබීම තවත් එක් විශේෂත්වයකි. අදාළ සතිය විදේශීය විකිණුම් රුපියල් මිලියන 622.87 ක් වන අතර මේ අනුව රුපියල් බිලියන 1.968 ක ශුද්ධ විදේශීය මිල දී ගැනීම් ප්‍රමාණයක් වාර්තා වී තිබේ.

    වසරේ මුල් සතිය තුළ දෛනික සාමාන්‍ය පිරිවැටුම රුපියල් මිලියන 921.76 ක් ලෙසින් සටහන් වේ. 2017 වසරේ දෛනික සාමාන්‍ය කොටස් පිරිවැටුම වාර්තා වූයේ රුපියල් 915.3 ක් ලෙසිනි.