කොට්ටාවේ අති නවීන නගරයක් තැනීමට නාගරික සංවර්ධන අධිකාරිය සැරසෙයි

    March, 14, 2014

    දකුණු අධිවේගී මාර්ගයේ ප්‍රමුඛතම පිවිසුම පිහිටා තිබෙන කොට්ටාව මාකුඹුර කේන්ද්‍ර කර ගනිමින් අක්කර විසිපහක භූමියක අති නවීන නගරයක් නිර්මාණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැරෙසයි.

    අප සමග අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ- සැලසුම්, ප්‍රියානි නවරත්න මහත්මිය පැවසුවේ මේ වනවිට මෙම නව නගර සංවර්ධන ව්‍යාපෘතියේ සැලසුම් කටයුතු අවසන් කරමින් සිටින බවයි.

    “අති නවීන පහසුකම් වලින් සමන්විත මෙම නව නගරය ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ වනවිට මාකුඹුර අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයෙන් අක්කර 25 ක පමණ ඉඩමක් අත්පත් කරගෙන තිබෙනවා. මෙම ඉඩම පිහිටා තිබෙන්නේ දැනට පීසා හට් අවන්හල අසල තිබෙන වෙල්යාය සම්බන්ධ වන ලෙසයි.“

    “ජලාපවහන කටයුතු වලට බාධාවක් නොවන පරිදි මෙම නගර ව්‍යාපෘතිය සඳහා මෙම වෙල් යායෙන් කොටසක් ගොඩ කිරීමටත් නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබෙනවා.“

    යනුවෙන් ඇය අප සමග සඳහන් කළාය.

    මෙම නව නගරයේ අධිවේගී මාර්ගයේ ගමන් කරන බස් රථ සඳහා බස් නැවතුම් පොළක් සහ සුපිරි වෙළඳ සංකීර්ණ, නිවාස සංකීර්ණ ඉදි කෙරෙන අතර රාජ්‍ය ආයතන කිහිපයක්ම මෙම ස්ථානයට ගෙන ඒමට සැලසුම් කර තිබේ.

    ප්‍රියානි නවරත්න මහත්මිය පැවසුවේ මෙම ස්ථානය ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරමින් දුම්රිය මාර්ගයද මෙම ස්ථානය දක්වා දීර්ඝ කිරීම මෙම සැලසුම් වලට අයත් බවයි.

    “අධිවේගී මාර්ගයෙන් පැමිණි මගීන්ට සිය වාහන නවතා තබා අවශ්‍ය නම් බස් රථ වලින් ගමන් කිරීමේ පහසුකම් පවා අප මේ ස්ථානයේ ගොඩ නගනවා.“

    යනුවෙන් නවරත්න මහත්මිය පැවසුවාය.

    මෙම ව්‍යාපෘතිය තවත් නොබෝ දිනකින්ම ආරම්භ කරන බවත් වසර හතරකින් පමණ ව්‍යාපෘතිය අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බවත් නවරත්න මහත්මිය අප සමග වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන මුදලින් කොටසක් ලබාදීමට ජාත්‍යන්තර සහයෝගීතාවය පිළිබඳ ජපාන බැංකුව එකඟත්වය පළකර තිබේ.