කොට්ටාව නව අධිවේගී නගරය ඉදිවන්නේ කවදාද ? මෙන්න උත්තරේ

    April, 1, 2014

    කොට්ටාව අධිවේගී පිවිසුම ආසන්නයේ අක්කර 25 ක භූමියක නාගරික සංවර්ධන අධිකාරිය විසින් නවීන පහසුකම් වලින් සමන්විත නගරයක් ගොඩනැගීමට සූදානම් වන්නේ යැයි අප දිගින් දිගටම අනාවරණය කළ අතර එම නගරය ඉදිකිරීම ආරම්භ කිරීමේ දින වකවානු පිළිබඳව දැන් හෙළිවේ.

    මේ අනුව, මේ පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ- සැලසුම්, ප්‍රියානි නවරත්න මහත්මිය අප සමග අදහස් දැක්වූයේ මෙසේයි.

    “මෙම නව නගරයේ සැලසුම් කටයුතු මේ වනවිට අවසන් කර තිබෙනවා. තවත් මාසයකින් පමණ මෙහි ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.“

    මෙම නව නගරය ඉදිකිරීමට සැලසුම් කර තිබෙන ඉඩම පිහිටා තිබෙන්නේ දැනට පීසා හට් අවන්හල අසල තිබෙන වෙල්යාය සම්බන්ධ වන ලෙසයි. මෙහි අධිවේගී මාර්ගයේ ගමන් කරන බස් රථ සඳහා බස් නැවතුම් පොළක් සහ සුපිරි වෙළඳ සංකීර්ණ, නිවාස සංකීර්ණ ඉදි කෙරෙන අතර රාජ්‍ය ආයතන කිහිපයක්ම මෙම ස්ථානයට ගෙන ඒමට සැලසුම් කර තිබේ.

    ප්‍රියානි නවරත්න මහත්මිය පැවසුවේ මෙම ස්ථානය ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරමින් දුම්රිය මාර්ගයද මෙම ස්ථානය දක්වා දීර්ඝ කිරීම මෙම සැලසුම් වලට අයත් බවයි.

    මීට අමතරව, මෙම නගරයේ කාර්යාල පහසුකම් ස්ථාපිත කිරීමට තට්ටු දහයකට වඩා වැඩි ගොඩනැගිලි ඉදිකරන පුද්ගලික හා රජයේ ආයතන සඳහා අවස්ථාව ලබාදීමටද තීරණය කර ඇත.

    මේ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ සඳහා අක්කර 05 ක භූමියක් වෙන්කිරීමට සැලසුම් කර තිබේ.