කොමර්ෂල් බැංකුවෙන් පස්සර රෝහලට අත හිත

    August, 13, 2019

    කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරයේ තවත් මහඟු මෙහෙවරක් ඉටු කරමින් බැංකුව තම පස්සර ශාඛාව හරහා පසුගියදා පස්සර දිස්ත‍්‍රික් රෝහලේ අංග සම්පූර්ණ ජල පිළියම් පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගත්තේය. මින් පෙර රෝහලේ කටයුතු සඳහා භාවිතා කිරීමට සිදු වූයේ කෘෂි රසායන සහ අපද්‍රව්‍ය වලින් දුෂිත වූ ජලයයි.

    දිනපතා 500කට අධික රෝගීන් සංඛ්‍යාවකට ප‍්‍රතිකාර ලබා දෙන එම ප‍්‍රදේශයේ ප‍්‍රධාන රෝහල වන පස්සර දිස්ත‍්‍රික් රෝහල, සම්පත් ඌනතාවයෙන් පීඩා විඳින අතර ප‍්‍රදේශයේ බොහෝ ස්ථාන වලට බලපාන පිරිසිදු පානීය ජල ගැටළුව ඒ අතර ප‍්‍රධාන තැනක් ගනී. මෙතෙක් රෝහලේ නිසි ජල පිරිපහදු හෝ බෙදාහැරීමේ පද්ධතියක් ස්ථාපිත කොට නොතිබූ අතර එය බෝ නොවන රෝග සහ වකුගඩු ආබාධ පැතිරීම සඳහා බෙහෙවින් බලපාන බව රෝහල් අධිකාරීහු සඳහන් කරති.

    රෝහල වෙනුවෙන් වූ මෙම මෙහෙවරට අමතරව කොමර්ෂල් බැංකුව, පාසල් ළමුන්ගේ ප‍්‍රයෝජනය වෙනුවෙන් බිබිලේගම විද්‍යාලයේ සිසු දරුවන් සඳහා සංගීත භාණ්ඩ සහ ඡායා පිටපත් යන්ත‍්‍රයක්ද, ගෝනකැලේ දමිළ විදුහලට ඡායා පිටපත් යන්ත‍්‍රයක් සහ පරිගණකයක්ද පස්සර මධ්‍ය මහා විදුහලට ජල සම්පාදන ව්‍යාපෘතියක්ද පිරිනැමීමට පියවර ගන්නා ලදි.

    කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරය මගින් මෙහෙයවනු ලබන එහි ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති තුළින් තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව, අධ්‍යාපනය, තිරසාරත්වය සහ සෞඛ්‍යය යන ක්ෂේත‍්‍ර ප‍්‍රධාන වශයෙන් ආවරණය කෙරේ.

    ඡායාරූපයෙන් දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ ප‍්‍රාදේශීය කළමනාකාර - ඌව සබරගමුව එල්මෝ සූරියාරච්චි මහතා ඇතුළු බැංකුවේ කාර්ය මණ්ඩලය පස්සර රෝහලට පහසුකම් පිරිනැමීමේ අවස්ථාවට සහභාගි වූ අවස්ථාවයි.