කොමර්ෂල් බැංකුවේ කොවිඩ්-19 සහන තුළින් ණය අක‍්‍රීය වූ ගැනුම්කරුවන්ට නව බලාපොරොත්තුවක්

    May, 11, 2020

    කොවිඞ්-19 වසංගත තත්ත්වය මෙරට ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට සෘණාත්මකව බලපා තිබෙන තත්ත්වය හමුවේ මේ වනවිටත් තමන්ගේ ණය අක‍්‍රීය ණය ලෙස වර්ගීකරණය වී තිබෙන සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සහන මාලාවක් නිවේදනය කර තිබේ.

    කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වී සිටින ණය ගැනුම්කරුවන් වෙනුවෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව ප‍්‍රකාශයට පත්කර තිබෙන ණය සහන වැඩසටහන යටතේ මෙම සහන ලබාදෙන බව බැංකුව සඳහන් කරයි. මේ යටතේ ණය ගැණුම්කරුවන්ට තම ණය නැවත සකසා ගැනීමට අවස්ථාව හිමිවෙනවාට අමතරව මාස හයක් පොලී මුදල් නිසි වේලාවට අඛණ්ඩව ගෙවීම මගින් අදාළ ණය ක‍්‍රියාකාරී ණය ලෙස යළි වර්ගීකරණය කර ගැනීමට අවස්ථාව ලබාදී ඇත.

    2020 මාර්තු 25 වනදා වනවිට සිය ණය අක‍්‍රීය ණය ලෙස වර්ගීකරණය වී තිබෙන ණය ගැනුම්කරුවන්ට මෙම සහන වැඩසටහනට අයදුම්කළ හැකි අතර මෙයට ප‍්‍රාග්ධනය සහ පොලී අනුපාතය නැවත සකස් කිරීම, ණය පොලී අනුපාත සඳහා අයකර තිබෙන දඩ මුදල් ඉවත් කරවා ගැනීම, නැවත සකස් කළ ණය මුදල ගෙවා අවසන් වනවිට දැනටමත් ගෙවා තිබෙන පොලී අනුපාතයෙන් යම් ප‍්‍රතිශතයක් අඩුකර ගැනීම, මාස හයක් දක්වා ණය සහන කාලයක් ලබාගැනීම, 2020 සැප්තැම්බර් මාසය අග දක්වා අදාළ ණය මුදල් වලට සම්බන්ධ වත්කම් වෙන්දේසි කිරීම වලක්වාගැනීම යන සහන ද ඇතුළත් වේ.

    යම් ණය මුදලක් අයකර ගැනීම සම්බන්ධයෙන් අධිකරණ ක‍්‍රියා මාර්ග ආරම්භ වී තිබෙනවා නම් ණය ගැනුම්කරුවාට අධිකරණයට දිවුරුම් ප‍්‍රකාශක් ඉදිරිපත් කරමින් මෙම සහන වැඩසටහනට ඇතුළත් වන්නට පුළුවන. මෙහිදී, මෙම වැඩසටහනින් ප‍්‍රතිලාභ ලබාගැනීම සඳහා අදාළ ණය ගැනුම්කරුවා මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලැබීමට අවශ්‍ය, සියලු අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුය. බැංකුව සඳහන් කරන්නේ අදාළ බැංකු ශාඛාවල කළමනාකරුවන්ට හෝ සබඳතා නිළධාරීන්ට ලිඛිතව දැනුදීම මගින් ගනුදෙනුකරුවන්ට මෙම සහන වැඩසටහනට ඇතුළත් විය හැකි බවයි.

    කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට වැඩිම ණය ප‍්‍රමාණයක් ලබාදුන් බැංකුවක් ලෙසින් කැපී පෙනෙන අතර එම අංශයට ප‍්‍රතිලාභ ලබාදීමේ අරමුණෙන් තරගකාරී පොලී අනුපාත සහ ඔවුන් වෙනුවෙන්ම සකස්කළ නැවත ණය ගෙවීමේ යෝජනා ක‍්‍රම බැංකුව ඉදිරිපත් කර ඇත. කොමර්ෂල් බැංකුවේ ‘බිස් ලෝන්’ ණය යෝජනා ක‍්‍රමයේ ප‍්‍රධාන ලක්ෂණයන් අතරට ණය ගැනුම්කරුවාගේ ඇතැති මුදල් ප‍්‍රවාහයට අනුව වසර පහක් දක්වා නැවත ගෙවීමේ කාලයක් සහ සුදුසු සහන කාලයක් ලබාගැනීමේ අවස්ථාව, තරගකාරී පොලී අනුපාත ලබාගැනීමේ අවස්ථාව, තෝරාගත් ණය පහසුකම් සඳහා ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවීම, අයදුම්කරුවාගේ අවශ්‍යතාවයට අනුව ණය සීමාව තීරණය කළ හැකිවීම, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට දැනුම ලබාදීම සඳහා සිදුකරන වැඩමුළු සහ සම්මන්ත‍්‍රණ සඳහා සහභාගී වීමට අවස්ථාව ලබාදීම, ඇතුළත් වේ.

    ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම නව වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී මාලදිවයින බැංකුවට අමතරව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි.