කොමර්ෂල් බැංකුවේ පොයින්ට් ඔෆ් සේල් (POS) ජාලයේ මුදල් නොමැති ඉලෙක්ට්‍රොනික ගෙවීම් 2020 වසරේ අති විශාල වර්ධනයක් වාර්තා කරයි

    November, 16, 2020

    ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වේගයෙන් වර්ධනය වන පොයින්ට් ඔෆ් සේල් (POS) ජාලය බවට පත්වෙමින් මෙරට වෙළෙඳසැල්වල ස්ථාපිත කර තිබෙන කොමර්ෂල් බැංකුවේ පොයින්ට් ඔෆ් සේල් ජාලය විසින් අතිවිශාල ප‍්‍රමාණයක මුදල් නොමැති ඉලෙක්ට්‍රොනික ගෙවීම් කිරීමට සමත්වී තිබෙන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

    ශ‍්‍රී ලංකාවේ භාවිතා කරන ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් එක්ව ගත්විට මෙරට වැඩිම වෙළෙඳපොළ කොටස හිමි කොමර්ෂල් බැංකුව අති නවීන රැහැන් සහිත සහ රැහැන් රහිත POS පර්යන්ත මගින් කාඞ්පත් පදනම් කරගත් ගෙවීම් සඳහා පහසුකම් සපයන මෙරට ප‍්‍රමුඛතම බැංකුවක් ලෙස කැපී පෙනේ. මේ අතරට, ශ‍්‍රී ලංකාව තුළ මුදල් නොවන ගනුදෙනු වේගයෙන් වර්ධනය කරමින් තිබෙන QR කේත පදනම් කරගත් ඇන්ඩ්‍රොයිඞ් මගින් බලගන්වන ලද උපකරණ ඇතුළත් වේ.

    කොමර්ෂල් බැංකුවේ POS ජාලයේ මෙම කැපීපෙනෙන ප‍්‍රගතිය පිළිබඳව බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, තුසිත සුරවීර මහතා මෙසේ අදහස් දැක්වීය. ‘අපගේ තාක්ෂණය විසින් ව්‍යාපාරිකයින් සහ පාරිභෝගිකයින් මුදල් නොවන ගනුදෙනු තෝරා ගැනීම සඳහා උනන්දු කරනවා. මේ තුළින් පහසුවක් මෙන්ම ආරක්ෂාවක් ලැබෙන නිසා අලෙවිය වැඩිකර ගැනීමට ව්‍යාපාරිකයින්ට අවස්ථාවක් ලැබෙනවා. ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පළකර තිබෙන දත්ත වලට අනුව ශ‍්‍රී ලංකාව තුළ ඩෙබිට් කාඞ්පත් මිලියන 23 ක් පමණ තිබෙන නමුත් මෙම කාඞ්පත් මූලිකවම භාවිතා කරන්නේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATM) වලින් මුදල් ලබා ගන්නයි. මෙම කාඞ්පත් පොයින්ට් ඔෆ් සේල් (POS) යන්ත‍්‍ර වලදී භාවිතා කරන්නේ ඉතාමත් සුළු ප‍්‍රමාණයයි. පහසුව සහ ආරක්ෂාව ඉහළ දමන මුදල් නොවන ගනුදෙනු ප‍්‍රචලිත කරමින් මෙම තත්ත්වය වෙනස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.’

    කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා මෙරට වෙළෙඳ ආයතනවල මුදල් නොවන ගෙවීම් සඳහා පහසුකම් සැලසීමට ශ‍්‍රී ලංකාවේ පළමු LANKAQR සමඟ කි‍්‍රයාත්මකවන ඇන්ඩ්‍රොයිඞ් මෙහෙයුම් පද්ධතිය පදනම් කරගත් පොයින්ට් ඔෆ් සේල් උපකරණය හඳුන්වා දෙන ලදී. බැංකුව විසින් මේ වනවිට මෙයට සමාන විසඳුම් වෙළෙඳපොළ වෙනුවෙන් සංවර්ධනය කිරීම සඳහා සමාගම් කිහිපයක් සමගම කටයුතු කරමින් සිටී. මෙහිදී, ගනුදෙනුකරුවන්ගේ පහසුව සහ ආරක්ෂාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා මෙම ඇන්ඩ්‍රොයිඞ් POS උපකරණ, නියර් ෆීල්ඞ් කමියුනිකේෂන් (NFC) තාක්ෂණයෙන් යුක්තය. NFC තාක්ෂණයට අමතරව මෙම පර්යන්ත මගින් ස්පර්ෂ-නොවන ගනුදෙනු කරමින් ගෙවීම් කිරීමේ හැකියාවද ගනුදෙනුකරුවන්ට ලබාදී ඇත. මෙය මෙරට වඩාත්ම දියුණු ඇන්ඩ්‍රොයිඞ් POS උපකරණය ලෙසින් සැලකෙන අතර මෙමගින් LankaPay හ හරහා VISA, Mastercard, UnionPay සහ JCB කාඞ්පත් වලින් සහ LANKAQR යටතේ QR කේත පදනම් කරගත් ගනුදෙනු කළ හැකිය. එසේම, LANKAQR යටතේ කොමර්ෂල් බැංකුවේ පොයින්ට් ඔෆ් සේල් යන්ත‍්‍ර වලින් ඉදිරිපත් කරන QR කේතය mVisa සහ Mastercard QR ප‍්‍රවේශයන් සඳහා පහසුකම් සලසන අතර UnionPay QR කේත පිළිගැනීමටද නුදුරේදීම සකස් කරනු ඇත. මෙම පහසුකම මගින් පාරිභෝගිකයින්ට බාධා රහිත ගෙවීම් අත්දැකීමක් ලබාගනිමින් ගනුදෙනු කවුන්ටරවල ප‍්‍රමාදවීමෙන් වැලකී සිටිය හැක.

    ඉතාමත් සරල ඩිජිටල් ගෙවීම් පිළිගැනීමක් බලාපොරොත්තු වන වෙළෙඳුන්ට කොමර්ෂල් බැංකුව විසින් පහසු POS උපකරණයක්ද හඳුන්වා දී තිබෙන අතර එයට ස්මාර්ට් ජංගම දුරකතනයක් තුළින් බ්ලූටූත් ඔස්සේ භාවිතා කළ හැකි කාඞ්පත් රීඩරයක් ඇතුළත් වේ.

    කොමර්ෂල් බැංකුව විසින් සිම්පතකින් සහ Wi-Fi සබඳතාවයෙන් යුක්ත ක‍්‍රියාකාරී මෙන්ම හුරුබුහුටි ඇන්ඩ්‍රොයිඞ් කුඩා POS උපකරණයක්ද හඳුන්වා දී තිබේ. බැංකුව විසින් හඳුන්වා දී තිබෙන සියළුම ඇන්ඩ්‍රොයිඞ් POS උපකරණ භාෂා ත‍්‍රිත්වයෙන්ම හඳුන්වා දී ඇත. මෙම තාක්ෂණය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට දැරිය හැකි පිරිවැය සඵල විසඳුමක් ලෙස ඉදිරිපත් කර තිබෙන අතර මුදල් නොවන ගනුදෙනු පද්ධතිය තවදුරටත් පුළුල් කිරීමට මෙමගින් අපේක්ෂා කර තිබේ.

    ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 875 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.