කොමර්ෂල් බැංකුව තවදුරටත් ණය පොලී අනුපාත අඩුකරයි

    June, 29, 2020

    • 2020 වසර තුළ මේ දක්වා කෘෂි කාර්මික ණය 5% කින් පහළට
    • සුළු හා මධ්‍යම පරිමාණ ණයවල පොලී අනුපාතය මේ වසර තුළ 4% කින් අඩු කරයි
    • 2020 ජනවාරි මාසයේ සිට රන් ණයවල පොලී අනුපාතය 5% කින් පහළට

    කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා පීඩාවට පත් ව්‍යාපාර නැවත නගා සිටුවීමට අවශ්‍ය අරමුදල් දැරිය හැකි මිලකට සම්පාදනය කිරීම වෙනුවෙන් සියළුම අංශවල ණය පොලී අනුපාතය 2%ක් දක්වා තවදුරටත් අඩුකරන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර තිබේ.

    කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් දැඩි බලපෑමක් නොමැති තත්ත්වයකදී පවා 2020 පෙබරවාරි මාසයේදී පොලී අනුපාත අඩුකිරීමට කොමර්ෂල් බැංකුව කටයුතු කළ අතර කොවිඞ් ඇඳිරි නීතිය කාලයේදීද දෙවරක් පොලී අනුපාත අඩුකිරීමට පියවර ගන්නා ලදී. මේ අනුව, බැංකුව විසින් 2020 වසරේදී කෘෂි ව්‍යාපාරික ණය, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ණය සහ රන් ණයවල පොලී අනුපාත පිළිවෙලින් 3.5% කින්, 4% කින් සහ 5% කින් අඩුකිරීමට පියවර ගෙන තිබේ.

    කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් අය වෙනුවෙන් බැංකුව විසින් අරමුදල් සපයන සහාය ණය යෝජනා ක‍්‍රම දෙකක් 2020 මැයි මාසයේ සිට ආරම්භ කළ මෙරට පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම වාණිජ බැංකුව විසින් යළිත් 2020 ජුනි 24 වනදා සිට සියළුම නව නිවාස ණය, ලීසිං, පුද්ගලික ණය, උකස්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය දිරිබල සංවර්ධන ණය, හරිත සහ විශ‍්‍රාමික ණය මෙන්ම බැංකුව අරමුදල් සපයන විශේෂ කෘෂිකාර්මික ණය සහ කොවිඞ්-19 සහන ණය යෝජනා ක‍්‍රමවල පොලී අනුපාත අඩුකරන බව නිවේදනය කර ඇත.

    මීට අමතරව, බැංකුව සඳහන් කරන්නේ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 15 කට අඩු ක්ෂුද්‍ර ව්‍යාපාර නගා සිටුවීමට සහ එම ව්‍යාපාර වලට කාරක ප‍්‍රාග්ධනය සම්පාදනය කිරීම වෙනුවෙන් ලබාදුන් ‘දිරිශක්ති කොවිඩි-19 සහාය ණය’ යෝජනා ක‍්‍රමය යටතේ 9% ක වාර්ෂික පොලියකට ණය ලබා දෙන බවයි.

    ‘කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා ව්‍යාපාර වලට සිදුවූ බලපෑමේ ගැඹුර දිනෙන් දිනම අනාවරණය වෙමින් තිබෙනවා. මේ නිසා, මෙම ව්‍යාපාරවල ව්‍යාපාරික ප‍්‍රමාණය සහ මුදල් ප‍්‍රවාහ ශක්තිමත් වනතුරු ඒවා කඩා නොවැටී පවත්වා ගැනීමට සහාය ලබාදීමට අපි තීරණය කර තිබෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා සඳහන් කළේය. ‘මෙරට ආර්ථිකයට වැදගත් බැංකුවක් ලෙස තම ධාරිතාවය අනුව කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් ඇතිවූ ආර්ථික බලපෑම අවම කිරීම සඳහා කොමර්ෂල් බැංකුව කළ හැකි සෑම දෙයක්ම කරනවා. එසේම, ඉදිරියේදී පැමිණෙන අභියෝගාත්මක කාලයේදී තවදුරටත් ලබාදිය හැකි සහයෝගය පිළිබඳව අපි අඛණ්ඩවම අවධානය යොමු කරමින් සිටිනවා.’

    බැංකුව සඳහන් කර තිබෙන්නේ මැයි මාසයේ 2% කින් පොලී අනුපාත අඩුකිරීමේදී පිළිවෙලින් වසර පහේ සහ හතේ කෘෂි කාර්මික ණයවල පොලී අනුපාත 12%ක් සහ 13%ක් දක්වා අඩුවූ බවත් නවතම පොලී අනුපාත අඩුකිරීම යටතේ 1.5% කින් අඩුකර තිබෙන නිසා තවදුරටත් 10.5% ත් 11.5% ත් දක්වා අඩුවන බවයි.

    මේ අතර, කර්මාන්ත සහ සේවා අංශයේ  සුළු හා මධ්‍යම පරිමාණ සහ ක්ෂුද්‍ර ව්‍යවසායන් වෙනුවෙන් ලබාදෙන ‘දිරිබල’ ණයවල පොලී අනුපාතයද බැංකුව විසින් මැයි මාසයේදී 2% කින් අඩුකළ අතර මෙවරද එම ණයවල පොලී අනුපාතය 2% කින් තවදුරටත් අඩුකර ඇත. වසර පහේ සහ හතේ එම ණය සඳහා බලපැවැත්වෙන මෙම ණයවල පොලී අනුපාත පිළිවෙලින් 9.5% ක් සහ 10.5% ක් බවට පත්වී ඇත.

    එසේම, බැංකුව විසින් නිවාස ණය පොලී අනුපාතයද 1.5% ක් දක්වා අඩුකර තිබෙන අතර වසර 10 නිවාස ණය පොලී අනුපාතය 9.75% ක් දක්වාත් වසර 10 වැඩි නිවාස ණය පොලී අනුපාතය 10.5% ක් දක්වාත් ‘ප‍්‍රිවිලේජ්’ නිවාස ණයවල පොලී අනුපාතය 9% ක් දක්වාත් මෙම පොලී අනුපාත පහළ හෙලීම නිසා අඩුවී තිබේ.

    ලීසිං, ව්‍යාපාරික ණය සහ පුද්ගලික ණයවල පොලී අනුපාතද බැංකුව විසින් තවදුරටත් 1.5% කින් අඩුකිරීමට පියවර ගෙන ඇත.

    බැංකුව සඳහන් කරන්නේ මාස 84 ක් දක්වා වන විශ‍්‍රාමික ණයවල පොලී අනුපාතයද 1.5% ක් දක්වා අඩුකර තිබෙන බවයි.

    මේ අතර, බැංකුව විසින් ලබාදී තිබෙන හරිත ණය සහ පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභව ඇති කිරීම සඳහා ලබාදී තිබෙන ලීසිං පහසුකම් මෙන්ම අනිකුත් පරිසර හිතකාමී ව්‍යාපෘති සඳහා ලබාදී තිබෙන ණයවල පොලී අනුපාතයද තවදුරටත් 1% කින් අඩුකරන බව බැංකුව නිවේදනය කර ඇත. මේ අනුව, වසර දහයේ මෙම ණයවල පොලී අනුපාතය 10% ක් දක්වාත් වසර හතේ ණයවල පොලී අනුපාතය 11.5% ක් දක්වාත් පහළ යනු ඇත.

    උකස් පොලී අනුපාතය වසරකට 11% ක් දක්වා අඩුකිරීමට බැංකුව විසින් මැයි මාසයේදී කටයුතු කළ අතර 2020 ජුනි 24 වනදා සිට එය තවදුරටත් 1% කින් 10% ක් දක්වා අඩුකර ඇති බව බැංකුව සඳහන් කරයි.

    මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ක්ෂේත‍්‍රයට වැඩිම ණය ලබාදෙන බැංකුවක් ලෙස කොමර්ෂල් බැංකුව කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා ව්‍යාපාර වලට ඇතිවී තිබෙන පීඩාවන් මග හරවා ගැනීම සඳහා සහාය මූල්‍ය සේවාවන් මේ වනවිට ලබාදෙමින් සිටී. මීට අමතරව, කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වී සිටින ගනුදෙනුකරුවන්ට සහන සැලසීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහන පැකේජයට අනුව කොමර්ෂල් බැංකුව විසින් මේ වසරේ අපේ‍්‍රල් මාසයේදී අක‍්‍රීය තත්ත්වයේ ණය තිබූ තම ගනුදෙනුකරුවන්ට සහන මාලාවක් ලබාදෙන ලදී. එසේම, බැංකුව විසින් සිය ක්‍රෙඩිට් කාඞ්පත් ගනුදෙනුකරුවන්ට සහන කිහිපයක්ම ලබාදුන් අතර මේ අතරට ගෙවීමට තිබෙන මුදල සඳහා විශේෂ ගෙවීමේ සැලසුමක් ප‍්‍රකාශයට පත්කිරීමද ඇතුළත් වේ.

    මීට අමතරව, බැංකුව විසින් පසුගිය මැයි මාසයේදීද නව ණය, ලීසිං, උකස් ණය සහ බැංකු අයිරාවන් සඳහා සැලකිය යුතු පොලී අඩුකිරීමක් කරන ලදී.

    ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම නව වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.