කොමර්ෂල් බැංකුව ද සොයිසා කාන්තා රෝහලේ වාට්ටු ප්‍රතිසංස්කරණය නිම කරයි

    October, 2, 2026

    ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මෙම වසරේ මාර්තු මාසයේදී ආරම්භ කළ පුළුල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව කොමර්ෂල් බැංකුව විසින් ද සොයිසා කාන්තා රෝහලේ අංක 03 සහ 04 වාට්ටු පසුගියදා රෝහල වෙත භාරදෙන ලදී.

    රෝහලේ රෝගීන්ගෙන් සැලකිය යුතු පිරිසක් සඳහා ප්‍රතිකාර ලබාදෙන අංක 03 සහ 04 දරන වාට්ටු වාර්ෂිකව දළ වශයෙන් දරු ප්‍රසූති 2,500 සිට 3,000 දක්වා සහ රෝගීන් ඇතුළත් කර ගැනීම් 4,000 සිට 5,000 දක්වා ප්‍රමාණයක් වාර්තා කරයි. මෙම වාට්ටු ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණ වූයේ රෝගී සත්කාර, රෝගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට මෙන්ම මව්වරුන්ට සහ අලුත උපන් බිළිඳුන් දහස් ගණනකට සෘජු ප්‍රතිලාභ ලබා දීමයි.

    කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ සත්කාර භාරයේ භාරකරුවන් පස්දෙනෙකු ප්‍රතිසංස්කරණය කළ වාට්ටු රෝහල් බලධාරීන් වෙත නිල වශයෙන් භාරදීමේ අවස්ථාවට සහභාගී වූහ. එම අවස්ථාවට බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන් මහතා, නියෝජ්‍ය සභාපති රාජා සේනානායක මහතා, කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හස්රත් මුණසිංහ මහතා සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී ප්‍රසන්න ඉන්ද්‍රජිත් මහතා සහභාගී වූහ.

    1879දී ආරම්භ කරන ලද ද සොයිසා කාන්තා රෝහල ශ්‍රී ලංකාවේ පළමු මාතෘ රෝහල මෙන්ම ආසියාවේ දෙවැනි පැරණිතම මාතෘ රෝහල ද වේ. 1905දී මෙරට ප්‍රථම සිසේරියන් සැත්කම සිදු කිරීම සහ 1907දී ශ්‍රී ලංකාවේ මුල්කාලීන සංවිධානාත්මක ශල්‍යාගාරයක් ස්ථාපිත කිරීම ඇතුළු සුවිශේෂී වෛද්‍ය සේවා රැසක් සඳහා මෙම රෝහලට ඉහළ කීර්තියක් හිමි වේ.

    මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ සත්කාර භාරය තුළින් මේ වන විට රජයේ රෝහල් 100කට වැඩි ගණනකට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ යටිතල පහසුකම් ලබාදී ඇති අතර ‘Adopt an Ambulance’ වැඩසටහන හරහා හදිසි වෛද්‍ය සේවාවන් සඳහා ද දායක වී ඇත. තවද වකුගඩු රෝගයෙන් පීඩාවට පත් රෝගීන්ගේ පවුල් සඳහා ජල ගබඩා විසඳුම් ලබා දීම වැනි ඉලක්කගත ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් ද ක්‍රියාත්මක කර ඇත.

    ප්‍රතිසංස්කරණය කරන ලද වාට්ටුව නිල වශයෙන් භාරදීමේ අවස්ථාවට සහභාගී වූ බැංකුවේ නියෝජිතයන් සහ රෝහලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඡායාරූපයේ දැක්වේ.

    Video Story

    Stock Market

    Exchange Rates