කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවට පළමු වරට ‘WeChat Pay’ ගෙවීම් සේවාව හඳුන්වා දෙයි

    January, 16, 2019

    කොමර්ෂල් බැංකුව සහ Tenpay Payment Technology Ltd සමාගම ඒකාබද්ධ වී ශ‍්‍රී ලංකාවේ පළමු වරට චීනයේ ප‍්‍රමුඛතම ජංගම දුරකතන ගෙවීමේ විසඳුමක් වන ‘WeChat Pay’ ශ‍්‍රී ලංකාවට හඳුන්වා දී තිබෙන අතර මේ තුළින් මෙරටට පැමිණෙන චීන ජාතිකයින්ට මෙරටදී භාණ්ඩ සහ සේවාවන් සඳහා මුදල් ගෙවීමේ පහසුව හිමිවී තිබේ.

    මෙම ජංගම දුරකතන ඇප් විසඳුම ශ‍්‍රී ලංකාවට කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වා දී තිබෙන අතර ඒ සඳහා Wells Digital Infrastructure (Pvt) Ltd සමාගම සහ ශ‍්‍රී ලංකාවේ සිදුකරන ‘WeChat Pay’ ගනුදෙනු සඳහා පහසුකම් සපයන ප‍්‍රමුඛතම ඉලෙක්ට්‍රොනික ගෙවීම් විසඳුම් සපයන්නෙකු වන SwiftPass Technologies Co. Ltd සමාගම ඒකාබද්ධ වී තිබේ.

    චීන සංචාරකයින් සහ ගනුදෙනුකරුවන් වඩාත් ආකර්ශනය වන වෙළඳන් සිටින ස්ථාන වලට විශේෂ පොයින්ට් ඔෆ් සේල් (POS) උපකරණයක් මගින් ‘WeChat Pay’ සේවාව බැංකුව විසින් ලබාදෙන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

    ශ‍්‍රී ලංකාව තුළ ‘WeChat Pay’ සේවාව ක‍්‍රියාත්මක කිරීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් නීතිමය අයිතිය ලබාගැනීම සම්බන්ධයෙන් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කොමර්ෂල් බැංකුව සෑමවිටම උත්සාහ කරන්නේ ගනුදෙනු කරුවන්ට කාලීනව අවශ්‍ය වන සේවාවන් ලබාදීමටයි. ශ‍්‍රී ලංකාවට පැමිණෙන චීන සංචාරකයින් වැඩිවෙමින් තිබෙන අවස්ථාවක මෙම විසඳුම මගින් ඔවුන්ට පහසුව වැඩිවෙනවා වගේම ඔවුන්ට ඉතාමත් සමීප ගෙවීමේ විකල්පයක් මෙරටදී භාවිතා කිරීමේ අවස්ථාව උදා වෙනවා.’

    මෙහිදී, මෙම සේවාව ලබාගැනීමට අවශ්‍ය වෙළෙඳුන් ඒ සඳහා කොමර්ෂල් බැංකුවෙන් ඉල්ලීමක් කළවිට බැංකුව විසින් මෙම විශේෂ POS උපකරණය එම වෙළඳ ස්ථානයේ සවිකරන බව බැංකුව සඳහන් කරයි. මෙම උපකරණය සවිකළ පසුව පැමිණෙන ගනුදෙනු කරුවන්ට ූඍ කේත තුළින් විවිධ වූ ‘WeChat Pay’ ගෙවීම් ක‍්‍රම තෝරා ගනිමින් ගෙවීම් කිරීමේ අවස්ථාව උදාවනු ඇත. මෙහිදී, මිලදී ගන්නා භාණ්ඩ හා සේවාවල වටිනාකම බලා යූවාන් වලින් හෝ වෙනත්  ඕනෑම ජාත්‍යන්තර මුදල් ඒකකයකින් තමන්ගේ කැමැත්ත පරිදි ගෙවීමේ අවස්ථාව මෙම සේවාව මගින් ලබාදෙන අතර මෙහිදී මුදල් පරිවර්තනය කිරීමේ අමතර ගාස්තුවක් අය නොකිරීම ගනුදෙනු කරුවන්ට වාසියක් ලෙස පෙන්වාදිය හැකිය.

    Tencent විසින් සංවර්ධනය කර තිබෙන චීන බහු කාර්ය පණිවුඩ, සමාජ මාධ්‍ය සහ ජංගම දුරකතන ගෙවීමේ ඇප් සේවාවක් වන WeChat මුල් වරට 2011 වසරේදී හඳුන්වා දුන් අතර 2018 වසර වනවිට මසකට සක‍්‍රීය භාවිතා කරන්නන් මිලියන 1040 කට වැඩි ප‍්‍රමාණයක් සහ මසකට සක‍්‍රීය ‘WeChat Pay’ භාවිතා කරන්නන් මිලියන 600 කට වැඩි ප‍්‍රමාණයක් සිටින ලෝකයේ දැවැන්තම ජංගම දුරකතන ඇප් සේවාවක් බවට පත්වී තිබේ. මෙම සේවාවේ පද්ධතිය හරහා දිනකට මිලියන 600 ක පමණ ගනුදෙනු සිදුකරයි.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම අට වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 830 ක් සහ බැංකු ශාඛා 266 ක් පවත්වාගෙන යයි. 2016 වසරේදී සහ 2017 වසරේදී ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන රැුසක් දිනාගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව 2018 වසර තුළදී ජාත්‍යන්තර සම්මාන 30 කට වැඩි ගණනක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී.