කොමර්ෂල් බැංකුව 2018 වසරේදී ශක්තිමත් වර්ධනයක් වාර්තා කරයි

    February, 28, 2019

    • රුපියල් බිලියන 14 ක් හෙවත් ලාභයෙන් 45% ක් බදු ලෙස රජයට ගෙවයි
    • ශ‍්‍රී ලංකා නව ගණකාධිකරණ ප‍්‍රමිති 09 ට සංක‍්‍රමණය තුලින් රුපියල් බිලියන 05 ක පිරිවැයක්
    • පිට පිටම තුන්වන වසර සඳහාත් ණය පොත සහ තැන්පතු රුපියල් බිලියන 100 ක වර්ධනය ඉක්මවයි
    • දළ ආදායම 21% කින් රුපියල් බිලියන 138 ක් දක්වා ඉහළට

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව පීඩනයක් පවතින කාල සමයක වර්ධනය වන ආකාරයට කදිම උදාහරණයක් සපයමින් 2018 දෙසැම්බර් 31 වනදායින් අවසන් වන වසර තුළදී මූල්‍ය සේවා මත බදු වලට පෙර රුපියල් බිලියන 31.6 ක මෙහෙයුම් ලාභයක් ලබා තිබෙන අතර එය 2017 වසරට සාපේක්ෂව 12.8% ක වර්ධනයකි.

    ආදායම් බදු වලට පෙර ලාභය 10.4% කින් රුපියල් බිලියන 25.6 ක් දක්වා වර්ධනය වී තිබෙන බවත් එම අගය අඩුවීමට 2018 ඔක්තෝම්බර් 01 වනදා සිට හඳුන්වා දුන් ණය නැවත ගෙවීමේ බද්ද (DRL) හේතු වූ බවත් බැංකුව සඳහන් කරයි.

    සලකා බලන මූල්‍ය වසර තුළදී බැංකුවේ බදු වලට පසු ලාභය රුපියල් බිලියන 17.5 ක් දක්වා 5.8% කින් වර්ධනය වී තිබේ. මේ ආකාරයෙන් වර්ධනය වඩාත් ඉහළ නොගොස් තිබෙන්නේ රජය විසින් හඳුන්වා දී තිබෙන නව බදු ප‍්‍රතිපත්තිය තුළ 2018 වසරේදී බැංකුව විසින් ගෙවූ ආදායම් බදු ප‍්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ යාමයි. මෙම නව බදු ප‍්‍රතිපත්තිය මගින් බැංකු කර්මාන්තයට මීට පෙර හිමිවූ බොහෝ බදු සහන අහෝසි වී තිබේ.

    කොමර්ෂල් බැංකුව 2018 වසරේදී තම ලාභයෙන් ආසන්න වශයෙන් 45% ක ප‍්‍රතිශතයක් හෙවත් රුපියල් බිලියන 14.3 ක් බදු (ආදායම් බදු, මූල්‍ය සේවා බදු සහ රුපියල් මිලියන 650 ක ණය නැවත ගෙවීමේ බද්ද සහ රක්ෂණ බද්ද) රජයට ගෙවා තිබේ. මීට පෙර වසරේදී බැංකුව විසින් තම ලාභයෙන් 41% ක් හෙවත් රුපියල් බිලියන 11.7 ක මුදලක් රජයට බදු වශයෙන් ගෙවන ලදී.

    මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව කොමර්ෂල් බැංකුවේ සභාපති, ධර්ම ධීරසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘නිරන්තරයෙන් වෙනස් වන පරිසරයකදී පවා බැංකුව සැලසුමට සහ අයවැයට අනුකූල වෙමින් සියළුම අංශ වලදී ඉතාමත් ශක්තිමත් කාර්ය සාධනයක් පෙන්වා තිබෙනවා.’

    ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ අක‍්‍රීය අත්තිකාරම් සඳහා හානි පූරණ ගාස්තු වැඩිපුර වෙන් කිරීමට සිදුවීම, අවිනිශ්චිත සහ ඉහළ නැගුණු පොලී අනුපාත සහ රුපියල අවප‍්‍රමාණය වීම 2018 වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපෑ බවත් ආර්ථික ක‍්‍රියාකාරකම් අඩපණවීම ව්‍යාපාර පුළුල් කිරීමට බාධාවක් වූ බවයි.

    කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. ‘ලාභ වර්ධනය කර ගැනීමට බැංකු වලට ඉතාමත් වැදගත් දෙයක් බවට පත්වෙනවා. එයට හේතුව වෙන්නේ ඉහළ නැගුණු බාසල් III ප‍්‍රාග්ධන අවශ්‍යතාවය සහ ශ‍්‍රී ලංකා නව ගණකාධිකරණ ප‍්‍රමිති 09 (SLFRS 9) ක‍්‍රියාත්මක කිරීම හේතුවෙන් ඉහළ නැගුණු හානි පූර්ණ ගාස්තු සපුරාලීම සඳහායි. නමුත්, බැංකු මත පනවා තිබෙන බදු මේ වනවිට කැපී පෙනෙන බලපෑමක් වී තිබෙනවා.’

    මූල්‍ය උපකරණ සඳහා වන ශ‍්‍රී ලංකා නව ගණකාධිකරණ ප‍්‍රමිති 09 2018 ජනවාරි 01 වනදා සිට වාර්ෂික මූල්‍ය වාර්තා සඳහා ක‍්‍රියාත්මක කෙරුණු අතර මෙම නව ප‍්‍රමිතිය හඳුන්වා දුන්නේ ලංකා ගණකාධිකරණ ප‍්‍රමිති 39 (LKAS 39) යටතේ හානි පූරණය ලබාදීම සිදු කෙරුණු ‘ඉන්කර්ඞ් ලොස්’ ක‍්‍රමය වෙනුවටයි.

    ලංකා ගණකාධිකරණ ප‍්‍රමිති 39 වෙනුවට ශ‍්‍රී ලංකා නව ගණකාධිකරණ ප‍්‍රමිති 09 ක‍්‍රියාත්මක කිරීමේදී 2018 තුන්වන කාර්තුව දක්වා ලංකා ගණකාධිකරණ ප‍්‍රමිති 39 ට අනුකූල වන පරිදි අතුරු මූල්‍ය වාර්තා සකස් කිරීමට සමාගම් සඳහා ශ‍්‍රී ලංකා වරළත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CA Sri Lanka) විසින් විකල්පයක් ලබාදෙන ලදී. කෙසේවෙතත්, 2018 වසරේ සමස්ත මූල්‍ය වාර්තාව ශ‍්‍රී ලංකා නව ගණකාධිකරණ ප‍්‍රමිති 09 ට අනුකූල වන පරිද්දෙන් සකස් කළ යුතුව තිබෙන අතර බැංකුවේ 04 වන කාර්තුවේ තිබෙන අංකයන් සඳහා මේ ආකාරයෙන් සමස්ත වර්ෂයේ මූල්‍ය වාර්තාව ශ‍්‍රී ලංකා නව ගණකාධිකරණ ප‍්‍රමිති 09 ට අනුකූළ වන ලෙස සකස් කිරීම සහ මාස 09 මූල්‍ය වාර්තාව ලංකා ගණකාධිකරණ ප‍්‍රමිති 39 ට අනුකූල වන ලෙසින් සකස් කිරීමේ බලපෑම ඇතුළත් වී තිබේ. 2017 වසරේ සාපේක්ෂ තොරතුරු ලංකා ගණකාධිකරණ ප‍්‍රමිති 39 යටතේ සකස් කර තිබෙන නිසා 2018 වසරේ ඉදිරිපත් කර තිබෙන තොරතුරු සමග සැසඳිය නොහැක.

    මෙහිදී, කොමර්ෂල් බැංකුව විසින් අනාවරණය කර තිබෙන්නේ ශ‍්‍රී ලංකා නව ගණකාධිකරණ ප‍්‍රමිති 09 ට අනුකූල වීමේදී 2018 වසරට ගෙන ආ ඉපැයීම් වලට බලපෑ බවත් එහි ප‍්‍රතිඑලයක් ලෙස බැංකුවේ ශුද්ධ වත්කම් රුපියල් බිලියන 5.3 කින් අඩු වූ බවයි.

    සලකා බලන මූල්‍ය වසර තුළදී කොමර්ෂල් බැංකුවේ මෙහෙයුම් ලාභය හානි පූරණ ගාස්තු වෙන්කිරීමට පෙර 30.6% කින් රුපියල් බිලියන 63.7 ක් දක්වා කැපී පෙනෙන ලෙස වැඩිවී ඇත. 2017 වසරේදී ලංකා ගණකාධිකරණ ප‍්‍රමිති 39 යටතේ වෙන්කළ රුපියල් මිලියන 677 ක් වූ හානි පූරණය කිරීමේ ගාස්තු පළමු වරට ශ‍්‍රී ලංකා නව ගණකාධිකරණ ප‍්‍රමිති 09 යටතේ 2018 වසරේදී රුපියල් බිලියන 8.6 ක් දක්වා කැපී පෙනෙන ලෙස වැඩිවී තිබේ.

    මේ අතර, 2018 දෙසැම්බර් 31 වනදා වනවිට බැංකුවේ සමස්ත වත්කම් සලකා බලන වසර තුළදී රුපියල් බිලියන 160 කින් හෙවත් 14% වර්ධනයක් සමඟ රුපියල් ටි‍්‍රලියන 1.3 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එය මාසිකව රුපියල් බිලියන 13.3 ක වර්ධනයකි.

    සලකා බලන වසර අවසන් වනවිට බැංකුව විසින් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ශුද්ධ ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 123.7 කින් හෙවත් 16.8%කින් රුපියල් බිලියන 861.1 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර එය සාමාන්‍යයෙන් මාසයකට රුපියල් බිලියන 10 කට වැඩි වර්ධනයකි. වසරකදී තම ණය පොත රුපියල් බිලියන 100 කට වැඩියෙන් කොමර්ෂල් බැංකුව පිට පිටම වැඩිකර ගත් සිව්වන වසර ලෙස 2018 වසර කැපී පෙනේ.

    එසේම, බැංකුවේ තැන්පතු කළඹ 2018 දෙසැම්බර් 31 වනදා වනවිට 15.6% කින් හෙවත් රුපියල් බිලියන 132.9 කින් රුපියල් බිලියන 983.0 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර මෙය සාමාන්‍යයෙන් මාසයකට රුපියල් බිලියන 11 කට වැඩි වර්ධනයකි. බැංකුවේ තැන්පතු රුපියල් බිලියන 100 ඉක්මවා පිට පිටම වර්ධනය වූ තුන්වන වසර ලෙසින් 2018 වසර පෙන්වා දිය හැකිය.

    මේ අතර, 2018 වසරේදී බැංකුවේ දළ ආදායම 20.7% කින් රුපියල් බිලියන 138.0 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර සමස්ත පොලී ආදායම 14% කින් රුපියල් බිලියන 117.5 ක් දක්වා වර්ධනය වී තිබෙන්නේ ප‍්‍රධාන වශයෙන්ම බැංකුවේ ණය පොතේ සිදුවූ වර්ධනය හේතුවෙනි. සලකා බලන කාල සීමාව තුළදී අඩු පිරිවැය අරමුදල්වල සිට වැඩි පිරිවැය කාලීන තැන්පතු වෙත මාරුවීම වෙද්දී වගකීම් පිළිබඳව කාලීනව සිදුකළ නැවත මිලකිරීම තුළින් බැංකුවේ පොලී වියදම 13.3% කින් රුපියල් බිලියන 72.5 ක් දක්වා වර්ධනය වී තිබෙන්නේ ඊට අඩු ප‍්‍රතිශතයකින් නිසා, සලකා බලන වසර තුළදී බැංකුවේ ශුද්ධ පොලී ආදායම 15.2% කින් රුපියල් බිලියන 44.9 ක් දක්වා වර්ධනය වී තිබේ.

    ගාස්තු සහ කොමිස් ආදායම්, විනිමය ලාභ, ගනුදෙනු ලාභ හෝ පාඩු සහ මූල්‍ය වත්කම් නැවත හඳුනාගැනීමේදී ඇතිවන ශුද්ධ ලාභ හෝ පාඩු ඇතුළත් වන අනිකුත් ආදායම් 2018 වසර තුළදී 92.1% කින් විශාල ලෙස රුපියල් බිලියන 18.7 ක් දක්වා වර්ධනය වී තිබේ. මෙයට කැපී පෙනෙන ලෙස විනිමය ලාභ වැඩිවීම දායකවී තිබෙන අතර භාණ්ඩාගාර බිල්පත්වල ගනුදෙනු ප‍්‍රමාණය වර්ධනයවීම සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 16.4% කින් අවප‍්‍රමාණය වීම නිසා ලැබුණු විනිමය ආදායම් මේ සඳහා දායකවී ඇත.

    2018 වසරේදී බැංකුවේ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් බිලියන 10.2 ක් දක්වා 2017 වසරට සාපේක්ෂව 18% කින් වර්ධනය වී තිබෙන අතර ගනුදෙනු සම්බන්ධ ආදායම් වර්ධනයවීම සහ කාඞ්පත් සේවා වර්ධනයවීම මෙයට හේතුවී තිබේ.

    සලකා බලන වසර තුළදී කල් පිරුණු FX ස්වොප් ගනුදෙනු වලින් ලැබූ පාඩුව හේතුවෙන් 2017 වසරේදී බැංකුව විසින් ලබාගත් රුපියල් මිලියන 234 ක ගනුදෙනු ලාභය 2018 වසරේදී රුපියල් බිලියන 03 ක පාඩුවක් බවට පත්වී ඇත. කෙසේ වෙතත්, බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 63.687 ක් වූ අතර එය 30.6% ක ශක්තිමත් වර්ධනයකි.

    ශ‍්‍රී ලංකා නව ගණකාධිකරණ ප‍්‍රමිති 09 යටතේ වැඩිකළ යුතු හානි පූර්ණ ගාස්තු හේතුවෙන් සලකා බලන වසරේදී බැංකුවේ ශුද්ධ මෙහෙයුම් ආදායම 14.6%කින් රුපියල් බිලියන 55.1 ක් දක්වා මධ්‍යස්ථ ලෙස වර්ධනය වීමට හේතුවී ඇත. මේ අතර, 2018 වසර ආරම්භයේ සිට විධායක කාර්ය මණ්ඩලයට ලබාදුන් වැටුප් වර්ධකය සහ සාමූහික ගිවිසුමට අනුව විධායක නොවන කාර්ය මණ්ඩලයට ලබාදුන් වැටුප් වර්ධකය හේතුවෙන් සලකා බලන වසරේදී බැංකුවේ සමස්ත මෙහෙයුම් වියදම 17.1%කින් රුපියල් බිලියන 23.5 ක් දක්වා වර්ධනය වී තිබේ.

    අනිකුත් ප‍්‍රධාන දර්ශක සලකා බැලීමේදී බැංකුවේ කොටසකට අදාළ ශුද්ධ වත්කම් වටිනාකම 2018 වසර අවසන් වනවිට රුපියල් 117.15 ක්වූ අතර එය 2017 දෙසැම්බර් මාසය සැලකීමේදී 8.9% කින් රුපියල් 9.60 කින් වර්ධනය වීමකි. එසේම, 2018 වසර අවසන් වනවිට වත්කම් වලට අදාළ ප‍්‍රතිලාභ අනුපාතය (බදු වලට පසුව* සහ කොටස් වලට අදාළ ප‍්‍රතිලාභ අනුපාතය 1.43% ක් සහ 15.56% ක් ලෙස පිළිවෙලින් තිබූ අතර මෙම අඩු වර්ධනයට හේතුවූයේ ශ‍්‍රී ලංකා නව ගණකාධිකරණ ප‍්‍රමිති 09 යටතේ හානි පූර්ණ ගාස්තු වැඩිවීම සහ බදු වැඩිවීම යන කාරණායි. 2018 වසරේදී බැංකුවේ පොලී අන්තරය 3.7% ක් දක්වා ප‍්‍රගතියක් ලබාගත් අතර එය 2017 වසරේදී තිබුණේ 3.6% ක් ලෙසයි.

    ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතයන් සැලකීමේදී බැංකුවේ සමස්ත පළමුපෙළ ප‍්‍රාග්ධන අනුපාතය (ප‍්‍රාග්ධන ආරක්ෂාවන් සමග) 2018 දෙසැම්බර් 31 වනදා වනවිට 11.338% ක මට්ටමක තිබූ අතර එය බාසල් III අවශ්‍යතාවය වන 8.875% ක මට්ටමට වඩා ඉහළ අගයකි. මේ අතර, 2018 වසර අවසන් වනවිට පැවති සමස්ත ප‍්‍රාග්ධන අනුපාතය වන 15.603% ක මට්ටම බාසල් III අවශ්‍යතාවය වන 12.875% ක මට්ටම ඉක්මවා තිබීමද කැපී පෙනේ.

    සමූහයක් ලෙස ගත්විට, කොමර්ෂල් බැංකුව සහ එයට අනුබද්ධ සමාගම් විසින් 2018 දෙසැම්බර් 31 අවසන් වන වසරක කාල සීමාව තුළදී ආදායම් බදු වලට පෙර රුපියල් බිලියන 26.1 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය 12.1% ක වර්ධනයකි. මෙම වසරේදී බදු වලට පසු ලාභය රුපියල් බිලියන 17.9 ක්වී තිබෙන අතර එය 7.4% ක වර්ධනයකි.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම අට වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 830 ක් සහ බැංකු ශාඛා 266 ක් පවත්වාගෙන යයි. 2016 වසරේදී සහ 2017 වසරේදී ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන රැසක් දිනාගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව 2018 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 40 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී.