කොමර්ෂල් බැංකුව LankaPay-JCB කාඩ්පත් පිළිගැනීම අරඹයි

    June, 25, 2019

    ජාතික කාඞ්පත් වැඩසටහන යටතේ නිකුත් කර තිබෙන LankaPay-JCB (ජපාන ණය කාර්යංශය) සම සන්නාමකරණය කර තිබෙන කාඞ්පත් තමන්ගේ පොයින්ට්- ඔෆ්- සේල් (POS& යන්ත‍්‍ර ජාලය මගින් පිළිගන්නා ශ‍්‍රී ලංකාවේ පළමු බැංකු කිහිපය අතරට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ.

    කොමර්ෂල් බැංකුව සහ LankaPay Common POS Switch පද්ධතිය එක්කිරීමෙන් පසුව ජපානයෙන් බිහිවූ එකම අන්තර්ජාතික ගෙවීමේ සන්නාමය වන JCB සමඟ දේශීය බැංකු විසින් නිකුත් කර තිබෙන LankaPay-JCB සම සන්නාමකරණය කළ කාඞ්පත් සහ ජාත්‍යන්තරව නිකුත් කර තිබෙන JCB කාඞ්පත් කොමර්ෂල් බැංකුවේ POS යන්ත‍්‍ර ජාලය මගින් පිළිගන්නා බව බැංකුව සඳහන් කරයි.

    මේ අනුව, ඉදිරියේදී LankaPay-JCB සම සන්නාමකරණය කළ කාඞ්පත් සහ JCB කාඞ්පත් හිමියන්ට ශ‍්‍රී ලංකාව තුළදී ස්පර්ශයෙන් සහ ස්පර්ශයෙන් තොරව කොමර්ෂල් බැංකුවේ POS උපකරණ මගින් ගනුදෙනු කිරීමේ අවස්ථාව හිමිවේ. කොමර්ෂල් බැංකුවේ පොයින්ට්- ඔෆ්- සේල් POS යන්ත‍්‍ර මගින් මේ වනවිට වීසා, මාස්ටර්කාඞ් සහ යුනියන්පේ කාඞ්පත් පිළිගන්නා අතර QR කේතය පදනම් කරගත් වීචැට් පේ සහ අලිපේ සේවාද ලබාදෙයි. මේ අනුව, එක් පද්ධතියක් මගින් වැඩි ගෙවීම් නාලිකා ප‍්‍රමාණයක් කොමර්ෂල් බැංකුව විසින් සිය පාරිභෝගිකයින්ට ලබාදී තිබේ.

    ජපානය පදනම් කරගත් එකම ජාත්‍යන්තර ගෙවීමේ සන්නාමය වන JCB 1981 වසරේ සිට සිය ජාත්‍යන්තර ව්‍යාප්තිය පුළුල් කිරීම ආරම්භ කරන ලදී. මෙමගින් ලෝකය පුරා විසිරී සිටින පාරිභෝගිකයින්ට ගැලපෙන ඉතාමත් ඉහළ ගුණාත්මක තත්ත්වයකින් යුතු සේවා මාලාවක් ලබාදී ඇත. මේ වනවිට, කාඞ්පත් සාමාජිකයින් මිලියන 123 ක සංඛ්‍යාවක් JCB සතුවන අතර රටවල් 22 ක් තුළ සිය සේවාවන් ව්‍යාප්ත කර තිබේ.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම අට වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 845 ක් සහ බැංකු ශාඛා 266 ක් පවත්වාගෙන යයි. 2016 සහ 2017 යන වසර වලදී ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන රැසක් දිනාගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව 2018 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 40 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී.

    සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා (වමේ සිට පස්වැන්නා) සහ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා ගිවිසුම අත්සන් කිරීමට අනතුරුව. මෙම අවස්ථාවට (වමේ සිට) කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානයේ කළමනාකරු, සීවලි වික‍්‍රමසිංහ මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා, ලංකා ක්ලියර් සභාපති, අනිල් අමරසූරිය මහතා, ලංකා ක්ලියර් සාමාන්‍යාධිකාරී සහ ප‍්‍රධාන විධායක නිළධාරී, චන්න ද සිල්වා මහතා, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති, ආනන්ද ජයලත් මහතා සහ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් අධ්‍යක්ෂ, ධර්මශ‍්‍රී කුමාරතුංග මහතා මෙන්ම කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, තුසිත සුරවීර මහතා සහභාගී විය.