March, 24, 2020
කොරෝනා වසංගතය මුළු ලෝකයම වෙලාගත් ව්‍යසනයක් බවට පත්වී තිබේ. ශ්‍රී ලංකාවද මේ වනවිට මෙම වසංගතයේ ගොදුරක් බවට පත්වී තිබෙන අතර අපි සැම එක්ව මේ සටන ජයගත යුතුය.
මා මෙම ලිපිය ලියන්නේ කොරෝනා මර්දනය කරන ආකාරය ගැන නොවේ. වසර 15 කට අධික කාලයක් මෙරට ව්‍යාපාරික මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන්නෙකු ලෙසත් ඒ පිළිබඳව ගවේෂණය කරන්නෙකු ලෙසත් අර්ථ ශාස්ත්‍රඥයෙකු ලෙසත් ඉතාමත් වැදගත් කරුණක් පෙන්වාදීම සඳහායි. මා සඳහන් කරන කාරණය ගැන දැනටමත් අවධානය යොමුවී තිබෙන්නටත් පුළුවන් අතර එසේ අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත් වේ. මෙම ලිපිය සකස් කිරීම සඳහා මා සාමාජිකයින් 300 ක ගෙන් පමණ සමන්විත කර්මාන්තශාලා රැකගැනීමේ සංසදයේ නියෝජිතයින් සමග වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ප්‍රායෝගික අවබෝධයක් ලබාගත් අතර මෙම ලිපිය හුදෙක් ආර්ථික විද්‍යාත්මක න්‍යායන් මත පමණක් පිහිටා ඉදිරිපත් කරන්නක් නොවේ.
කොරෝනා වසංගතය නිසා මේ වනවිට සමස්ත ලෝකයේම ව්‍යාපාර අඩාල වී තිබෙන අතර ඉදිරි කාලයේදී මෙම තත්ත්වය ලෝක ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකයටද දැවැන්ත ලෙස බලපානු ඇත. ඉදිරි කාලයේදී අපට වෙහෙසීමට සිදුවනු ඇත්තේ ව්‍යාපාර කඩා වැටීම අවම කර ගැනීමේ උපාය මාර්ග සෙවීම සඳහායි. මේ නිසා, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ කර්මාන්ත සඳහාද මෙම සුරක්ෂිතතාවය ඉදිරියේදී ඉතාමත් වැදගත් වේ. මේ වනවිටත් රජය විසින් සංචාරක, ඇඟලුම්, තොරතුරු තාක්ෂණ සහ වෙළෙඳ අංශ ලබාගෙන තිබෙන ණය ගෙවීම මාස හයක් අත්හිටුවා තිබෙන අතර මෙවැනි සහනයක් මෙරට කර්මාන්ත අංශයේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත (සේවකයින් 20 ත් 750 ත් අතර ප්‍රමාණයක් සිටින) වලටත් ලබාදීම ඉතාමත් වැදගත් වේ.
එසේ වන්නේ, මෙරට අනිකුත් ව්‍යාපාර මෙන්ම පසුගිය අවුරුදු කිහිපය තුළ ගංවතුර, පාස්කු බෝම්බ ප්‍රහාර වැනි විවිධ බාධක මැදින් ඉතාමත් අසීරුවෙන් ඉදිරියට පැමිණි මෙරට සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත අංශය මෙරට ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් දැක්වීමයි.
පසුගිය කාලය පුරාම මෙරට කර්මාන්ත අංශයේ පිරිවැය වැඩිවූ අතර මේ හේතුවෙන් ඔවුන්ගේ කාරක ප්‍රාග්ධනය දිනෙන් දිනම හීනවී ගියේය. අමුද්‍රව්‍ය මිලදීගැනීමට සිදුකරන වියදම්, සේවක වේතන ගෙවීමට කරන වියදම්, විදුලිය, ජලය ඇතුළු එදිනෙදා අවශ්‍ය උපයෝගී සේවා මිලදී ගැනීමට කරන වියදම් කාරක ප්‍රාග්ධනයට ඇතුළත් වේ. වර්තමානයේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය තුළ මෙම කර්මාන්ත කරුවන් ලබාගත් ණය ගෙවීමට සිදුවී තිබෙන්නේ කාරක ප්‍රාග්ධනය භාවිතා කිරීමෙනුයි. එවිට සිදුවන්නේ කුමක්ද?
අමුද්‍රව්‍ය මිලදී ගැනීම අඩාල වීමෙන්, සේවක වේතන ගෙවීම් ප්‍රමාද වීමෙන් මෙම ව්‍යාපාර කඩා වැටීමයි. එවිට මෙරටට ඇතිවිය හැකි දිගුකාලීන අවාසිය ඉතාමත් දරුණු එකක් වනු ඇත.
අද රුපියල ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අව ප්‍රමාණය වීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ අපගේ අපනයන තවමත් ඉතාමත් අඩු මට්ටමක පැවතීමයි. යම් හෙයකින් මේ අර්බුදයෙන් අපගේ කර්මාන්ත අංශය කඩා වැටුණහොත් එය මෙරට අපනයන කඩා වැටීමට ප්‍රබල හේතුවක් වනු ඇත. මේ ආකාරයෙන් කර්මාන්ත අංශය රැකගැනීමේ වැදගත්කම පිළිබඳව බොහෝ දේ ආර්ථික විද්‍යාත්මකව විග්‍රහ කරමින් සඳහන් කළ හැකිය. නමුත්, මෙම ලිපියේ ඒ සඳහා ඉඩකඩ නොමැති නිසා මා ඒ සියල්ල සටහන් නොකරමි.
කර්මාන්තකරුවන් යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට, කර්මාන්ත ශාලා ඉදිකිරීමට ලබාගෙන තිබෙන ණය සඳහා වර්තමාන රජය විසින් අවුරුද්දක සහන කාලයක් කොරෝනා වසංගතයට පෙර සිටම ලබාදී තිබීම අගය කළ යුතු කරුණකි. මේ නිසා, මෙම කාල සීමාව තුළදී මෙම ණය සඳහා කර්මාන්ත කරුවන් ගෙවිය යුත්තේ පොලිය පමණකි. මෙය ඒ මොහොතේ රජය ලබාගත් බුද්ධිමත් තීරණයක් ලෙසින් සඳහන් කළ හැකිය.
නමුත්, දැන් ගැටලුව වී තිබෙන්නේ කොරෝනා වසංගතය නිසා ඇතිවූ නව තත්ත්වය තුළ කර්මාන්ත කරුවන්ගේ කාරක ප්‍රාග්ධනය හීනවී යමින් තිබීමයි. මේ නිසා, මේ අවස්ථාවේදී කර්මාන්ත කරුවන්ගේ කාරක ප්‍රාග්ධනය නැංවීම සඳහා තාවකාලික සහනයක් ලබාදීම අවශ්‍යම කාරණයක් බවට පත්ව තිබේ.
මේ නිසා, මේ අවස්ථාවේ පහත සහනයන් කර්මාන්ත කරුවන්ට ලබාදීම ඉතාමත් වැදගත් වනු ඇත.
මෙම යෝජනාවන් පිළිබඳව විවිධ වූ තර්ක මතු වන්නට පුළුවන. නමුත් වැදගත් වන්නේ මේ තීරණාත්මක අවස්ථාවේදී අපගේ කර්මාන්ත වලට මෙම නව හුස්ම ලබා නොදුනහොත් ඔවුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මිය යෑමට වැඩි අවස්ථාවක් තිබෙන බව අවබෝධ කර ගැනීමයි. මේ තුළ ගැබ්වී තිබෙන්නේ අර්බුද කළමනාකරණයයි. අනෙකා විපතට පත්වූ විට අපි කන බොන දෑ වලින් යම් කොටසක් කැපකොට අනෙකා වෙනුවෙන් ලබා දෙන්නේ ඔහු රැක ගැනීම සඳහායි. එවිට, අපට පරිභෝජනය කිරීමට තිබෙන සම්පත් අඩුවන බව ඇත්තක් වුවත් අර්බුදයේදී එසේ නොකළහොත් අප වෙනුවෙන් කතා කිරීමට, වැඩ කිරීමට තවකෙකු ඉතිරි නොවනු ඇත. ආර්ථික අර්බුද කළමනාකරණය කිරීමද මෙවැනිම දෙයකි. කර්මාන්ත කරුවන්ට හෝ අනිකුත් ව්‍යාපාරිකයින්ට අර්බුදයේදී සහන ලබාදෙන විට එම කැප කිරීම බැංකු වලට හෝ රජයට අමතර බරක් වන්නට පුළුවන. නමුත්, තමනුත් ආරක්ෂාවී අනෙකාත් ආරක්ෂා කරන සීමාව අවබෝධ කරගනිමින් වත්මන් ආර්ථික අර්බුදය කළමනාකරණයට සහයෝගය දැක්වීම මෙම තීරණාත්මක මොහොතේ ඉතාමත් වැදගත් වේ. බැංකු යනු මෙරට වැඩියෙන්ම ලාභ ලබන ව්‍යාපාර අතර පෙරමුණේ සිටින ව්‍යාපාර බව අඛණ්ඩවම පෙනෙන අතර ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට සහයෝගය ලබාදීම බැංකුවල ජාතික වගකීමකි. යුතුකමකි.
ජයන්ත කෝවිලගොඩගේ
අර්ථ ශාස්ත්‍රඥ
ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික මාධ්‍යවේදී
Video Story