කොරෝනා ආසාදිත රෝගීන් වෙනුවෙන් අලුතින් ඉදි කළ ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයට රොබෝ යන්ත්‍රයක සහාය

    April, 8, 2020

    හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම, කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාර දුරස්ථව ලබා දීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරින් හට සහයෝගය ලබා දීමට තවත් ස්වයංක්‍රිය නියමු රොබෝ යන්ත්‍රයක් (AGV) පරිත්‍යාග කිරීමට කටයුතු කළේය. COVID-19 රෝගීන් සඳහා ම වෙන් වූ ඉරණවිල රෝහල විවෘත කිරීමේ අවස්ථාවේදී, මුළුමනින් ම දේශීය නිමැවුමක්වන මෙම රොබෝ යන්ත්‍රය නිල වශයෙන් බාර දෙන ලදි. සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සහ COVID-19 වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු මහත්ම මහත්මීහු රැසක් එම අවස්ථාවට සහභාගී වූහ.

     

    පළමු අදියර යටතේ රෝගීන් 40 කට ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතින මෙම රෝහල් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා වශයෙන් වෛද්‍ය දිමුත් පොන්වීර මහතා කටයුතු කරයි. අවශ්‍යතාව පරිදි එම පරිශ්‍රයේ පහසුකම් තවත් පුළුල් කිරීමට සැලසුම් කර ඇත. මින් පෙර වොයිස් ඔෆ් ඇමරිකා ගොඩනැගිල්ලක්ව පැවති මෙම ස්ථානය සති දෙකක් වැනි අඩු කාලයක් තුළ පූර්ණ පහසුකම්වලින් සමන්විත විශේෂඥ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කළේය.

    මෙලෙස පරිත්‍යාග කෙරුණු රොබෝ යන්ත්‍රය ඇට්ලස් ඇක්සිලියා සමාගම විසින් නිෂ්පාදනය කරන ලද දෙවන රොබෝ යන්ත්‍රයයි. මින් පෙර නිෂ්පාදනය කෙරුණු රොබෝ යන්ත්‍රය කොළඹ සෞඛ්‍ය සේවා කලාප අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ, හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය පාලක වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි, සංවිධාන සහ සංවර්ධන අධ්‍යක්ෂ වෛද්‍ය තිළිණි වනිගසේකර සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර යන මහත්ම මහත්මීන්ගේ අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කෙරිණි.

    රෝගීන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගෙන යාමේ හැකියාව ද මෙම රොබෝ යන්ත්‍රය සතු වේ. එහි සවිකර ඇති කැමරා පද්ධතිය හරහා රෝගීන් සමග සංවාදයේ යෙදෙමින් දුරස්ථව ඔවුන් පරික්ෂා කිරීමේ හැකියාව ද වෛද්‍යවරුන්ට හිමි වේ. ඒ අනුව සෞඛ්‍ය අංශයේ විශේෂඥයන් හට සිය සෞඛ්‍යය රැක ගන්නා අතරම වෛරසයට එරෙහි සටනට දායකත්වය ලබා දීමට මෙම රොබෝ යන්ත්‍රය උපකාරී වෙයි.

    ජාතික අවශ්‍යතාවක් මතු වී ඇති මෙවන් මොහොතක ඊට දායකත්වය ලබා දීමේ අරමුණ පෙරදැරිව මෙම කාර්යය සඳහා ඇට්ලස් ඇක්සිලියා සමාගමේ ඉංජිනේරු තාක්ෂණ කණ්ඩායම ඉදිරිපත් වූ බව එම සමාගමේ නියෝජිතයෙකු සඳහන් කළේය.

    "වසර 60 කට අධික කාලයක පටන් මෙරට ජාතික වගකීමක් ඉටු කරන සමාගමක් ලෙස, මෙරට මුහුණ දී සිටින දැවැන්තම සෞඛ්‍යමය අභියෝගයක් ජයගැනීම සඳහා දායකත්වය ලබා දීමට හැකි වීම අප භාග්‍යයක් සේ සලකනවා" යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම වසංගතයට එරෙහිව මෙවැනි ඒකක නිෂ්පාදනය කිරීමට ඉදිරිපත්වන තෝරාගත් පුද්ගලයන් සහ ආයතන සඳහා සිය දැනුම ලබා දීමට ද ඇට්ලස් ඇක්සිලියා සමාගම තීරණය කර ඇත.