කොරෝනා නිසා සංචාරකයින්ගෙන් හා විදේශ සේවා නියුක්තිකයින්ගෙන් මුදල් ගලා ඒම අඩුවුණු හැටි

    June, 3, 2020

    කොවිඩ්-19 වසංගතට හේතුවෙන් 2020 මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දැඩි බලපෑමට ලක්විය. ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම මගී ගුවන් යානා සහ නැව් නවතාලීමත් සමඟ 2020 මාර්තු තුන්වන සතියේ සිට සංචාරක පැමිණීම් නැවැත්වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සංචාරක පැමිණීම් 2019 මාර්තු මාසයේ දී වාර්තා වූ 244,328 සිට 2020 මාර්තු මාසයේ දී 71,370 ක් දක්වා සියයට 70.8 කින් අඩු විය.

    මෙම ප්‍රවණතාව සමඟ, සංචාරක ඉපැයීම් 2019 මාර්තු මාසයේ දී වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 461 සමඟ සැසඳීමේ දී 2020 මාර්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 135ක් දක්වා අඩු වී ඇතැයි තාවකාලිකව ඇස්තමේන්තු කර ඇති අතර, 2020 වසරේ පළමු මාස තුන තුළ දී සමුච්ඡිත සංචාරක ඉපැයීම් 2019 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 956ක් දක්වා සියයට 31.5කින් අඩු විය.

    මේ අතර, 2020 මාර්තු මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 492ක් දක්වා පෙර වසරේ අනුරූප කාලයට සාපේක්ෂව සියයට 13.9කින් අඩුවිය. 2020 මාර්තු මාසයේ දී ගුවන් කොටුපළ වසා දැමීමට පෙර දකුණු කොරියාව සහ ඉතාලිය යනාදී රටවලින් ආපසු පැමිණි විදේශ සේවා නියුක්තිකයින් සැලකිය යුතු ප්‍රමාණයක් විය.

    බොරතෙල් මිල අඩුවීම ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවා නියුක්තිකයින් බහුතරයක් සේවය කරන මැද පෙරදිග ආර්ථිකයන් කෙරෙහි බලපෑම හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් උග්‍රවිය. 2019 වසරේ අනුරූප කාලපරිච්ඡේදය සමඟ සැසඳීමේ දී සමුච්ඡිත පදනම මත විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 1,600 ක් දක්වා සියයට 1.0කින් අඩුවිය.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2020 මාර්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.