කොරෝනා සටනට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 1.3 ක් ශ්‍රී ලංකාවට

    April, 11, 2020

    එක්සත් ජනපද රජය, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) හරහා සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාවට සහ ආසාදන වැළැක්වීම හා පාලනය තුළින් වෛරස ව්‍යාප්තියේ වේගය බාල කිරීමට සහය දෙනුවස් ඇමරිකානු ඩොලර් මිලියන 1.3ක මුදලක් කැප කර තිබේ.

    “ඉතාමත් දුෂ්කර අවස්ථාවලදී පවා ඇමරිකාවත් ශ්‍රී ලංකාවත් හවුල්කරුවන් හා මිත්‍රයින් වශයෙන් එකිනෙකාට සහාය ලබාදෙනවා“, යනුවෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී. ටිප්ලිට්ස් මහත්මිය පැවසුවාය. “මෙවැනි ගෝලීය වසංගතයක් අබිමුව පවා ශක්තිමත්ව පවතින අපගේ චිරස්ථායී සම්බන්ධතාවය මේ ආධාරයෙන් පිළිබිඹු වෙනවා. අතීතයේ මෙන්ම අපි COVID-19 වෛරසයට එරෙහිව සටන් කිරීමේ දී ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය වන වැදගත් උපකාර ලබාදීමට හැකිවීම පිළිබඳව ආඩම්බර වෙනවා“.

    සිදුවීම් සොයාගැනීමට හා සිද්ධි-පාදක ආවේක්ෂණයටත්, තාක්ෂණික විශේෂඥයින් විසින් සිදුකරනු ලබන ප්‍රතිචාර දැක්වීම් හා සූදානම, අවදානම සන්නිවේදනය, ආසාදන වැළැක්වීම හා පාලනයටත් තවත් බොහෝ කාර්යයන් සඳහාත් මෙම අරමුදල් ශ්‍රී ලංකාවට උපකාරී වනු ඇත.

    තවද, මහා පරිමාණයෙන් COVID-19 පරීක්ෂා සිදුකිරීම සඳහා ශ්‍රී ලංකාවේ විද්‍යාගාර සූාදනම් කිරීමට ද ඇමරිකාව සහාය ලබාදෙනු ඇත. එසේම, උපකාර අවශ්‍ය කරන අනෙකුත් ප්‍රමුඛතා අංශ අංශ කවරේදැයි හඳුනාගැනීමට ඇමරිකාව ශ්‍රී ලංකා රජය හා අනෙකුත් පාර්ශවකරුවන් සමඟින් සම්බන්ධීකරණය කරනු ලැබේ.