කොවිඩ්-19 අභියෝග ජයගැනීමේ ජාතික මෙහෙවර වෙනුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විශේෂ තැන්පතු ගිණුමක් හඳුන්වාදෙයි

    May, 25, 2020

    කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අනපේක්ෂිත අභියෝග මෙන්ම එමගින් ජනතාවට සිදුවන බලපෑම නිවැරදිව වටහාගනිමින්, පවත්නා අර්බුදකාරී තත්ත්වය පාලනය කිරීමට සහාය වීම සඳහා, විශේෂ තැන්පතු ගිණුමක් හඳුන්වාදීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පියවර ගෙන තිබේ.

    මෙම දුෂ්කර මොහොතේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන බලපෑම් අවම කිරීම සඳහා වූ සිය කැපවීම ප්‍රකට කරමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙම නව ගිණුම හඳුන්වාදී තිබේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන්, රාජ්‍ය නොවන සංවිධාන, පදනම් හා භාරකාර අරමුදල් ආයතන, සංගම්, සමාගම් සහ ශ්‍රී ලංකාවෙන් බැහැර ලියාපදිංචි වෙනත් ආයතන මෙන්ම අභිලාෂය පළ කරන සෙසු පිරිස් ද මෙම ගිණුම් ආරම්භ කිරීමට සුදුසුකම් සපුරන අතර තම විදෙස් විනිමය ඉපැයුම්, ඉතුරුම් හා ආයෝජන, ඍජුව ප්‍රේෂණය කර මෙරට තුළ ආයෝජනය කිරීමේ අවස්ථාව මේ සමඟ උදා වේ.

    මෙම තැන්පතු ගිණුම හරහා කොවිඩ් අර්බුදයෙන් පසු නැවත ගොඩනැගීමට උත්සාහ දරන ශ්‍රී ලංකාවට විශාල සහායක් පිරිනැමෙන අතරේදී, තැන්පතු ආයෝජකයන් හට ද මාස 6 සහ 12 දක්වා වූ තැන්පතු සඳහා බැංකුව මගින් ප්‍රකාශයට පත් කර ඇති සාමාන්‍ය තැන්පතු පොලියට වඩා පිළිවෙලින් 1% හා 2% බැගින් වූ වැඩිපුර පොලියක් හිමි වීම ද කැපීපෙනේ. පිළිගත් ඕනෑම ව්‍යවහාර විදෙස් මුදල් ඒකකයකින් මෙම තැන්පතු ආරම්භ කළ හැකි අතර බද්ධ ගිණුම් ලෙස ද පවත්වාගෙන යා හැක.

    මෙම විශේෂ තැන්පතු ගිණුමේ මුදල්, සියලු බදු වර්ග වලින් නිදහස් කොට තිබීම ද විශේෂත්වයකි. තව ද තැන්පතු කල්පිරීමෙන් පසු ඒවා නිදහස් කරගැනීම හෝ ශ්‍රී ලංකාවෙන් පිටතට ප්‍රේෂණය කිරීම පිළිබඳව කිසිදු බාධාවක් නොමැත. ඊට අමතරව, මෙම ගිණුම විදෙස් විනිමය හුවමාරු නියමයන්ට යටත් නොවන බව ද සහතික කෙරේ. ඍජු විදෙස් විනිමය ප්‍රේෂණ මෙන්ම Inward Investment ගිණුමක් හරහා ද ගිණුමට මුදල් තැන්පත් කළ හැක.

    කොවිඩ්-19 කාලසීමාවේදී පවා කිසිදු අවහිරයකින් තොරව සිය ගනුදෙනුකාර භවතුන්ට සේවා සැලසීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කැප වී සිටී. සියලු ශාඛා කාර්යමණ්ඩල මෙන්ම සබඳතා මධ්‍යස්ථාන කාර්යමණ්ඩල සාමාජිකයින් ද මෙම කාලසීමාව තුළ පාරිභෝගිකයන්ගේ සියලු ම අවශ්‍යතා සම්පූර්ණ කරමින්, උපරිම සේවාවක් ලබාදීමට සැදී පැහැදී සිටී. විදෙස් රටවල වාසය කරන නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ගනුදෙනුකරුවන්ට ද එම රටවල පිහිටි පිළිගත් විනිමය ප්‍රේෂණ නියෝජිතයින් හරහා මෙම විශේෂ තැන්පතු ගිණුම ආරම්භ කළ හැක.

    මෙම නව ගිණුම ආරම්භ කිරීම පිළිබඳ අදහස් දක්වමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති - ශාඛා ජාල, ‍ෂෙහාන් ඩැනියල් මහතා මෙසේ පැවසීය. “කොවිඩ්-19 වසංගතය රට පුරා ජනතාවටත්‍, ආර්ථිකයටත් විශාල බලපෑමක් එල්ල කරමින් තිබෙනවා. එවන් මොහොතක රට තුළට විදේශ විනිමය ආකර්ෂණය කරගැනීමේ අරමුණින් ආරම්භ කළ මෙම විශේෂ තැන්පතු ගිණුම් ක්‍රමය, රටේ ආර්ථික සංවර්ධනයට දැවැන්ත දායකත්වයක් සපයනු ඇති බව අපගේ විශ්වාසයයි. විශේෂයෙන්ම මෙම අර්බුද සමයේදී කෙටිකාලීන හා මධ්‍යකාලීන වශයෙන් එහි බලපෑම් අවම කිරීමටත්, වඩා හොඳ ප්‍රතිඵල ළඟා කරගැනීම සඳහා දායක වීමටත් ඒ හරහා අපට අවස්ථාව උදාවෙනවා. ඒ වගේම වගකීම් සහගත බැංකුවක් ලෙස අපගේ කාර්යමණ්ඩලයට හා ගනුදෙනුකාර භවතුන්ට ආරක්ෂාව සලසන අතරේදී, මෙම ජාතික මෙහෙවරට උරදී සමස්තයක් ලෙස සමාජයේ ආරක්ෂාව තහවුරු කිරීමත් අපගේ ප්‍රමුඛතාවයක්”.

    Business Today සඟරාව මගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙරට විශිෂ්ටතම ව්‍යාපාරික ආයතන 15 අතරට නම් කර තිබේ. පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි  මූල්‍ය සේවාවන් හා විසඳුම් රැසක් හඳුන්වාදී ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් ද විශාල ප්‍රසාදයක් දිනා සිටී. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල්කරණ බැංකු අත්දැකීම වන FriMi හඳුන්වාදෙන ලද්දේ ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසිනි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 96ක්  විවෘත කර ඇති අතර, ATM යන්ත්‍ර 127ක් ද ස්ථාපිත කර ඇත. ඊට අමතරව මේ වනවිට එම බැංකුව මුදල් තැන්පත් කිරීමේ හා ආපසු ගැනීමේ යන්ත්‍ර 48ක් ද ස්ථාපිත කර ඇති අතර, Lanka Pay ජාලය ඔස්සේ තවත් ATM යන්ත්‍ර 3,700කට අධික සංඛ්‍යාවක් සමඟ සම්බන්ධ වී සිටී.

    සේයාරුව - නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති - ශාඛා ජාල, ‍ෂෙහාන් ඩැනියල් මහතා