කොවිඩ්-19 පිළිබඳ සාවද්‍ය තොරතුරු මර්දනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය හා වයිබර් අත්වැල් බැඳගනී

    April, 1, 2020

    කොවිඩ්-19 සම්බන්ධයෙන් පැතිරෙන සාවද්‍ය තොරතුරුවලට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය, Rakuten Viber සමඟ පසුගියදා නව සහයෝගීතාවකට එළඹුණි. මෙම සහයෝගීතාව යටතේ බහු භාෂාත්මක අන්තර්ක්‍රියා සහිත chatbot පහසුකමක් වයිබර් වෙතින් හඳුන්වාදෙන ලදී. නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් පැතිරෙන සාවද්‍ය පුවත් සහ තොරතුරුවලට එරෙහිව ක්‍රියාකිරීම එහි අරමුණයි.  

    නිරවද්‍ය සෞඛ්‍ය තොරතුරු අපේක්ෂාවෙන් සිටින ලොව පුරා වෙසෙන සෑම පුද්ගලයෙකුටම මෙම සේවාව ලබාගත හැක. එය දැනට ඉංග්‍රීසි, අරාබි, රුසියානු යන භාෂාවලින් ක්‍රියාත්මක වන අතර නුදුරේදීම තවත් භාෂා 20කට පරිවර්තනය වීමට නියමිත ය. ජනතාවට නිතර මතුවන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමත්, නව කොරෝනා වසංගතය පිළිබඳ අලුත්ම ප්‍රවෘත්ති මුදාහැරීමත් මෙම chatbot විශේෂාංගය හරහා සිදුකෙරේ.

    ඒ අනුව මෙම විශේෂාංගය යටතේ පිරිනැමෙන Latest News (නවතම පුවත්) පහසුකම හරහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියට සමාන්තරව පුවත් යාවත්කාලීන වීමක් සිදුවේ. වෙනත් අයුරකින් පැවසුවහොත් වසංගත තත්ත්වය පිළිබඳ අලුත්ම ගෝලීය පුවත් ක්ෂණයකින් ඔබේ අතට පත්වනු ඇත. ඊට අමතරව Protect Yourself, Mask Usage, Travel recommendations වැනි උපදෙස් රැගත් ඒකක ගණනාවක් ද මෙම chatbot හි අඩංගු ය. තව ද Myths නමින් ඉදිරිපත් කරඇති ප්‍රශ්න විචාරාත්මක සේවාව තුළින් වෛරසය පිළිබඳ ඔබේ දැනුම උරගා බැලීමේ අවස්ථාව ද හිමිවේ. Donate Now බොත්තම තදකිරීමෙන් ලොව පුරා වේගයෙන් පැතිර යන කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය පිහිටුවා ඇති කොවිඩ්-19 ඒකාබද්ධ ප්‍රතිචාර අරමුදලට මුදල් පරිත්‍යාග කිරීමට ද අවස්ථාව උදාවේ.

    “නව්‍ය ඩිජිටල් තාක්ෂණය හරහා හැකි උපරිම පිරිසකට විශ්වසනීය සෞඛ්‍ය තොරතුරු සැපයීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණයි. මන්ද යත් මෙවන් වසංගත අවස්ථාවකදී ජීවිත බේරාගැනීම සඳහා තොරතුරු සතුව විශාල බලයක් පවතිනවා” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් ඇඩනොම් ගෙබ්‍රෙයෙසුස් මහතා පවසයි.

    “අපි ජනතාවට එකිනෙකා හා සම්බන්ධවීමට සහාය වන අතරේදීම, වැරදි තොරතුරුවලට එරෙහිව සටන්කරමින් වැදගත් පුවත් ජනතාව අතරට ගෙනයෑමට දේශීය සහ ලොව පුරා රජයන්ටත්, සෞඛ්‍ය ආයතනවලටත් උපකාර කරනවා. ඒ අනුව මෙම අභියෝගකාරී සමයේදී ජනතාවගේ දැනුවත්භාවය සහ සෞඛ්‍යමත් බව වර්ධනය කිරීම Rakuten Viber සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර මෙම සහයෝගීතාවයේ අපේක්ෂාවයි. වයිබර් chatbot එක භාවිත කරන අතරේදී, ඔබේ නෑදෑ හිතමිතුරන් සමඟ ද එය බෙදාගනිමින් ඔවුන්ගේ ආරක්ෂාවට ද සහාය වීමට ඔබට පුළුවන්” යනුවෙන් Rakuten Viber ප්‍රධාන විධායක නිලධාරී ජමෙල් ඇගොවුවා මහතා ප්‍රකාශ කළේය.

    මෙම chatbot විශේෂංගය ලොව පුරා සෑම වයිබර් භාවිතාකරන්නෙකුටම නොමිලේ ලබාගත හැක. මේ අතර කොවිඩ්-19 වෛරසය සමඟ ඉදිරිපෙළ හිඳිමින් සටන් කරන සෞඛ්‍ය සේවකයින් ඇගැයීම හා ඔවුන්ගේ කටයුතුවලට සහාය දැක්වීමත්, එමෙන්ම නිරෝධායන කාලසමයේදී ධනාත්මක සිතුවිලි පැතිරවීමත් අරමුණු කරගනිමින් විශේෂ වයිබර් ස්ටිකර් පැක් එකක් ද නිකුත් කර තිබේ. වයිබර් ස්ටිකර් ගොනුවෙන් මෙම ස්ටිකර් පැක් එක ඩවුන්ලොඩ් කරන්නන් හට chatbot එකට පහසුවෙන් ප්‍රවේශවීමේ අවස්ථාව ද උදාවේ. පහත සබැඳිය (link) ඔස්සේ මෙම chatbot එක ලබාගත හැක. https://vb.me/c6e9fa