April, 27, 2020
රජයේ රෝහල් පහකට අත්‍යවශ්‍ය උපකරණ සහ කොවිඞ්-19 අරමුදලට මුදල් පරිත්යාග කරයි
කොවිඞ්-19 වසංගත තත්ත්වය සමග සටන් කිරීමට අවශ්‍ය අත්‍යවශ්‍ය උපකරණ රෝහල් වෙත පරිත්‍යාග කරමින් වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය අංශයේ සේවකයින්ට සහායවීමේ වැඩසටහන් මාලාවක් කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරය විසින් ක්‍රියාත්මක කර තිබේ.
මේ අනුව, කොළඹ ජාතික රෝහල, මහනුවර මහ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, තෙල්දෙණිය මූලික රෝහල සහ හෝමාගම මූලික රෝහල වෙත බැංකුව විසින් කොවිඞ්-19 රෝගයට ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍ය උපකරණ තොගයක් පසුගියදා පරිත්‍යාග කළේය.
බැංකුව විසින් පුද්ගලික ආරක්ෂණ උපකරණ (PPE) කට්ටල, N95 ආරක්ෂණ මුව ආවරණ, සජිකල් මුව ආවරණ, සජිකල් ඇඳුම් සහ අත් පිරිසිදුකාරක ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ තොගයක් මෙහිදී පරිත්‍යාග කළ බව බැංකුව සඳහන් කරයි. මීට අමතරව, රජය විසින් ආරම්භ කළ කොවිඞ්-19 අරමුදල සඳහා ද බැංකුව විසින් මුදල් පරිත්‍යාගයක් කරන ලදී.
‘කොඩිඞ්-19 වසංගතය තුරන් කිරීම සඳහා සෞඛ්‍ය අංශයේ විරුවන් සිදුකරන ඉදිරිපෙළ කාර්ය භාරය අපි අතිශයින් අගය කරනවා. ඒ වගේම, මෙම අභියෝගාත්මක අවස්ථාවේදී අපගේ රට ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන අපගේ රජයට අපි අඛණ්ඩවම සහයෝගය ලබාදෙනවා.’ යනුවෙන් මෙම සත්කාරය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘අප මෙන්ම ආයතනික අංශයේ අපගේ සහෝදර සමාගම් මගින් සිදුකරන දායකත්වය මගින් මෙම වසංගතය දුරලීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය සහ අනිකුත් පහසුකම් වර්ධනය කිරීමට සහයෝගය ඉදිරියටත් ලැබෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.’
ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම නව වතාවක් එසේ නම් වූ එකම ශ්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.
කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී මාලදිවයින බැංකුවට අමතරව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි.